මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට!

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සපයන බවට සැක කරන බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඔහු ලග තිබී රුපියල් ලක්ෂ 20කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකුගෙන් WhatsApp ඔස්සේ ලැබුණු උපදෙස් මත අදාළ මත්ද්‍රව්‍ය පාර්සලය සොයාගත් බවත්, එය බොරැල්ල, වනාත පාර ප්‍රදේශයේදී වෙනත් අයෙකුට භාරදීමට නියමිතව තිබූ බවත් ඔහු පවසා තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්, අදාළ ස්ථානය අසල රැකසිට මෙම මත්ද්‍රව්‍ය ලබාගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත් විය. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බන්ධනාගාර නියාමකවරවයා ඒ අවස්තාවේ ක්‍රීඩා ඇඳුමින් සැරසී සිටි ඇති අතර, ඔහු මින් පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කර ඇති අතර ඔහු පසුගිය ජනවාරි මාසයේ සිට මැගසින් බන්ධනාගාරයට අනුයුක්තව සේවය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කර තිබේ..

Social Sharing
නවතම පුවත්