අස්වැසුම නව ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට නොවැම්බර් 17 සිට පහසුකම්!

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීම සහ තහවුරු කිරීම සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලසීමාව 2026 නොවැම්බර් 15 වැනිදායින් අවසන් වී ඇති අතර, 2026 නොවැම්බර් 17 වැනිදා සිට නව ප්‍රතිලාභීන් සඳහා බැංකු ගිණුම් විවෘත කිරීම සහ තහවුරු කිරීමේ පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.

නව අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වෙනම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගිණුමක් විවෘත කළ යුතු බව මණ්ඩලය දැනුම් දෙයි. ඒ සඳහා අවශ්‍ය නිර්දේශිත ලිපි 2026 නොවැම්බර් 17 වැනිදා සිට තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් ලබාගත හැකිය.

මෙලෙස විවෘත කරන බැංකු ගිණුමක් රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යා යුතු අතර, ගිණුම විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රතිලාභීන් නැවතත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයේ බැංකු ගිණුම් විස්තර යාවත්කාලීන කර තහවුරු කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම, සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන සියලු දෙනා තමන් සතු වෙනත් බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමට අදාළව සිය කැමැත්ත දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබාදිය යුතු බවද නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, අවශ්‍ය අවස්ථාවලදී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බැංකු සමඟ සම්බන්ධීකරණයෙන් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් තොරතුරු පරීක්ෂා කිරීමට අවසර ලබාදීම එම දිවුරුම් ප්‍රකාශය මගින් සිදු කළ යුතුය. අදාළ දිවුරුම් ප්‍රකාශයේ ආකෘතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් ලබාගත හැකිය.

කෙසේ වෙතත්, දැනටමත් සක්‍රීය අස්වැසුම බැංකු ගිණුමක් පවතින ප්‍රතිලාභීන් නැවත නව බැංකු ගිණුමක් විවෘත කිරීම අවශ්‍ය නොවන බවද මණ්ඩලය අවධාරණය කරයි.

මේ අතර, නව ප්‍රතිලාභීන්ට සහ දෙවන අදියරේ ප්‍රතිලාභීන්ට අදාළ නොවැම්බර් මාසයේ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව 2026 නොවැම්බර් 27 වැනිදා ලබාදීමට අපේක්ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Social Sharing
නවතම පුවත්