
විවාහය තුළ සිදුවන ස්ත්‍රී දූෂණ සම්පූර්ණයෙන්ම අපරාධයක් ලෙස නීතිගත කර නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් අටක කාන්තාවන් සහ ගැහැනු ළමයින් මිලියන ගණනකට ප්‍රමාණවත් නීතිමය ආරක්ෂාවක් නොමැති බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
දකුණු ආසියානු කලාපයේ සමීප සහකරුවන්ගෙන් සිදුවන හිංසනය ගෝලීය සාමාන්‍යයට වඩා සියයට 35කින් ඉහළ මට්ටමක පවතින බවයි එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ.
ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් විවාහය තුළ සිදුවන ස්ත්‍රී දූෂණ අපරාධයක් ලෙස නීතිගත කර තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් 36ක් පමණ තවමත් ඒ සඳහා සම්පූර්ණ නීතිමය ආරක්ෂාවක් සලසා නොමැති බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ.
විවාහය තුළ සිදුවන ස්ත්‍රී දූෂණයකට සහ අනෙකුත් ස්ත්‍රී දූෂණවලට සමාන දඬුවම් ලබාදෙන දකුණු ආසියාවේ එකම රට මාලදිවයින බව ද සඳහන්.
නේපාලය සහ භූතානය විවාහය තුළ සිදුවන ස්ත්‍රී දූෂණ අපරාධයක් ලෙස පිළිගෙන ඇති නමුත්, ඒ සඳහා පනවනු ලබන්නේ අනෙකුත් ස්ත්‍රී දූෂණවලට සාපේක්ෂව අඩු දඬුවම් බවයි අදාළ අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ.
දකුණු ආසියානු රටවල මේ සම්බන්ධයෙන් පවතින නීති බොහොමයක් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේදී හඳුන්වාදුන් නීති මත පදනම් වී තිබෙනවා.
ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ එම නීති 1860 වසර දක්වාත්, ශ්‍රී ලංකාවේ අදාළ නීති 1885 වසර දක්වාත් දිවයන බව සඳහන්.
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙන්නේ අදාළ නීති යල්පැන ගොස් ඇති අතර, විවාහක සබඳතාවක් තුළ වුවද කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් ලිංගික සබඳතා පැවැත්වීම ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකිය යුතු බවයි.
එවැනි ලිංගික හිංසනයන් හේතුවෙන් කාන්තාවන්ගේ ශාරීරික, මානසික, චිත්තවේගීය සහ ලිංගික සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වන බව ද විශේෂඥයින් පෙන්වා දෙනවා.
මේ අතර, විවාහය තුළ සිදුවන ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඉන්දියාවේ පවතින නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් 10ක අවසන් විභාගය ලබන දෙසැම්බර් 09 වැනිදා එරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, ඉන්දීය රජය, ආගමික සංවිධාන සහ පිරිමින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ඊට විරෝධය පළ කර තිබෙනවා.
නීති සංශෝධනය කිරීම පමණක් හිංසනයට ගොදුරු වූ කාන්තාවන්ට යුක්තිය ඉටුවීම සහතික නොකරන බව ද කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
