
2026 වසරේ ගෙවී ගිය පළමු මාස නවයක කාලය තුළ මෙරටින් ළමා හා යොවුන් ගැබ් ගැනීම් 51ක් වාර්තා වී ඇති අතර, ලිංගික බලහත්කාරකම් සම්බන්ධ සිදුවීම් 364ක් වාර්තා වී ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
ජාතික ළමා රක්ෂණ අධිකාරියේ නවතම දත්ත උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, මෙම කාලය තුළ ළමයින් ලිංගික අපචාර සඳහා යොදා ගැනීමේ සිදුවීම් 114ක්, ළමා දූෂණ සිදුවීම් 169ක් සහ ළමා විවාහ 09ක් ද වාර්තා වී ඇති බවයි.
කොළඹ, ගම්පහ, කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් මෙම සිදුවීම් සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් වාර්තා වන බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. මෙම තත්ත්වය බරපතළ සමාජ ව්‍යසනයක් බව ද ඔහු අවධාරණය කරයි.
මේ අතර, ජාතික ළමා රක්ෂණ අධිකාරියේ දත්තවලට අනුව 2024 වසරේදී ළමා හා යොවුන් ගැබ් ගැනීම් 53ක්, ලිංගික බලහත්කාරකම් 500ක්, ළමා ගබ්සා කිරීම් 03ක්, ළමා දූෂණ සිදුවීම් 42ක් සහ ළමයින් ලිංගික ක්‍රියාවන් සඳහා පොලඹවා ගැනීමේ සිදුවීම් 321ක් වාර්තා වී තිබේ.
එසේම, 2025 වසරේදී ළමා ලිංගික දූෂණ සිදුවීම් 98ක්, ලිංගික බලහත්කාරකම් 545ක්, ළමා ලිංගික අපචාර සිදුවීම් 160ක් සහ ළමා හා යොවුන් ගැබ් ගැනීම් 46ක් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන මගින් නිරූපණය වන්නේ ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත වාර්තා වූ සිදුවීම් පමණක් බවත්, වාර්තා නොවන සිදුවීම් ද සැලකිල්ලට ගැනීමේදී සැබෑ තත්ත්වය මීට වඩා කිහිප ගුණයකින් බරපතළ විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
2026 වසරේ පළමු මාස නවය අවසානය වන විට ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත සමස්ත පැමිණිලි 9,613ක් ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙම දත්ත මගින් මෙරට ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින බරපතළ අභියෝගය පැහැදිලි වන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි නිශ්චිත ජාතික ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාව අවධාරණය කරයි.
