ඔස්කා සිහින අතරට ‘රිවර්ස්ටන්’ එක්වෙයි!


ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර වාර්ෂිකව පැවැත්වෙන ආසියානු ලෝක සිනමා උළෙල (ASIAN WORLD FILM FESTIVAL) යනු, ඔස්කා හෙවත් ඇකඩමි සිනමා සම්මාන උළෙලට අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩයෙන් (INTERNATIONAL FEATURE FILM CATERGORY) ඉදිරිපත් වූ චිත්‍රපට අතුරින් ආසියානු කලාපීය රටවලට අයත් සිනමාපටවලට, ඔස්කා උළෙලට පෙරාතුරුව සිය සිනමාපටවල සිනමාරූපී ප්‍රබලත්වය උරගා බලනු වස් ස්ථාපිත කොට ඇති අන්තර්ජාතික සිනමා උළෙලයි.

ඒ අනුව 99 වෙනි ඔස්කාර් උළෙලට ආසියානු කලාපය නියෝජනය කරමින් ඉදිරිපත් වූ චිත්‍රපට අතුරින්, චිත්‍රපට 15 ක් මෙවර ආසියානු ලෝක සිනමා උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කිරීමට තෝරාගෙන ඇති අතර, ඒ අතරට ශ්‍රී ලංකාව නියෝජනය කරන ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය එක්ව තිබීම කැපී පෙනේ.

ස්වෛරී රාජ්‍යයන් 48 කින් සහ විශේෂ පරිපාලන කලාප 03 කින් යුක්ත ආසියානු කලාපයට අයත් සමස්ත රටවල් සංඛ්‍යාව 51 කි. ඒ අතුරින් 2027 වසරේ පැවැත්වෙන 99 වෙනි ඔස්කා උළෙලට අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩය යටතේ චිත්‍රපට ඉදිරිපත් කොට ඇති ආසියානු කලාපීය රටවල් සංඛාව 31 කි. ඒ අතුරින් රටවල් 25 ක් මෙවර ලොස් ඇන්ජලීස්හීදී නොවැම්බර් 12 වෙනිදා සිට 19 වෙනිදා දක්වා පැවැත්වෙන ආසියානු ලෝක සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. එකී රටවලට අයත් සිනමා නිර්මාණ 25 අතුරින් සිනමාපට 15 ක් ප්‍රධාන තරගකාරි අංශය යටතේද, සිනමාපට 10 ක් තරගකාරී නොවන අංශ යටතේද ආසියානු උළෙල නියෝජනය කරනු ලැබේ.

ආසියානු උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අමතරව, චීනය, ඉන්දියාව, මැලේසියාව, තුර්කිය, පිලිපීනය, තායිවානය, ඊශ්‍රායලය, වියට්නාමය, කසකස්ථානය , මොංගෝලියාව, පකිස්ථානය, බංගලාදේශය, සිරියාව සහ පලස්තීනය යන රටවල් විසින් ඔස්කා උළෙලට ඉදිරිපත් කළ චිත්‍රපට සුදුසුකම් ලබා ඇත. මෙහිදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම නිළිය, විශේෂ ජූරි සම්මානය සහ ප්‍රේක්ෂක සම්මානය යන සම්මාන 06, තරගකාරී අංශයේ චිත්‍රපට වෙනුවෙන් පිරිනැමීමට නියමිත වේ.

ප්‍රධාන තරගකාරි අංශය නියෝජනය කරන චිත්‍රපට 15 ට අමතරව, දකුණු කොරියාව, ජපානය, සිංගප්පූරුව, නේපාලය, තායිලන්තය, කාම්බෝජය, ඉරාකය, කිර්ගිස්ථානය, ඉන්දුනීසියාව සහ ජෝර්දානය යන රටවල් 10 විසින් ඔස්කා උළෙලට ඉරිපත්කළ චිත්‍රපට, ආසියානු ලෝක සිනමා උළෙලේ තරගයෙන් බැහැර වූ අංශ යටතේ තිරගත වේ.

ලොස් ඇන්ජලීස් ආසියානු සිනමා උළෙලේ ආරම්භය 2015 වර්ෂයේදී සටහන් ව ඇත. එතැන් පටන් 2022 වර්ෂය තෙක් ආසියානු සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරි අංශයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව, ඔස්කා සහ ගෝල්ඩන් ග්ලෝබ් යන සම්මාන උළෙල ද්විත්වය නියෝජනය කරන චිත්‍රපටවලට මෙන්ම එකී උළෙල ද්විත්වය නියෝජනය නොකරන රටවලට අදාළව අදාළ වර්ෂයේ ලොව ඉහළම පිළිගැනීමකට බඳුන් වූ අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කළ චිත්‍රපටවලටද හිමිවිය. ඒ අනුව ඔස්කා සහ ගෝල්ඩන් ග්ලෝබ් යන සම්මාන උළෙල ද්විත්වය නියෝජනය නොකරන රටවලට හිමිවූ අවස්ථාව යටතේ 2017 වර්ෂයේදී සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයත්, 2021 වර්ෂයේ ඔහුගේම ‘ආසු’ චිත්‍රපටයත් ආසියානු උළෙලේ ප්‍රධාන තරඟකාරී අංශය නියෝජනයට සමත්විය. එහෙත් 2023 වසරේ පටන් උළෙලේ සංවිධායක කමිටුව විසින් අනුගමනය කරන නව නීතීන්ට අනුව උළෙලේ ප්‍රධාන තරගකරී අංශයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන්නේ ඔස්කා උළෙල නියෝජනය කරන චිත්‍රපටවලට පමණකි. ඒ අනුව ඔස්කා උළෙල නියෝජනය කරමින් ආසියානු ලෝක සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරි වටයට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටය ‘රිවර්ස්ටන්’ වේ.

ඒ ඒ ආසියානු රටවල ඒ ඒ තේරීම් කමිටු විසින් ඔස්කා උළෙල වෙත ඉදිරිපත් කළ විශිෂ්ටතම චිත්‍රපට අතුර වූ සුවිශිෂ්ටතම ආසියානු චිත්‍රපට පහළොව, ආසියානු ලෝක සිනමා උළෙලේ ප්‍රධාන තරගකාරි අංශය නියෝජනය කරන හෙයින්, වර්තමානයේදී එකී අංශය තුළ යම් චිත්‍රපටයක් යම් සම්මානයකට හිමිකම් කීම සුවිශේෂි ජයග්‍රණයක් වේ. ලොව නන් දෙස සිනමා උළෙලවලදී ආසියානු සිනමාපට හා වෙනත් කලාපීය සිනමාපට සමග එකට ගැටෙමින් සම්මාන පිට සම්මාන දිනූ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයට මෙම උළෙලේදීද සම්මානයකට හිමිකම් කීමේ අවස්ථාව හිමිවේද? එම තීරණය එළෙඹෙන 19 වෙනිදා පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයේදී ප්‍රකාශයට පත්කෙරේ.
ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ එක්ව නිෂ්පාදනය කළ සහ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “රිවර්ස්ටන්” චිත්‍රපටය ලොස් ඇන්ජලීස් ආසියානු ලෝක සිනමා උළෙලට ඉදිරිපත්කිරීම හා සම්බන්ධීකරණය උදිත කහඳවආරච්චිගෙනි.

Social Sharing
නවතම පුවත්