රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පතේ මතභේදාත්මක වගන්ති සංශෝධනයට සැළසුම්!

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සහ අධීක්ෂණය කිරීමේ පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබූ මතභේදාත්මක වගන්තියක් ඉවත් කිරීමට රජය එකඟතාව පළ කර තිබේ.

රාජ්‍ය නොවන සහ ලාභ නොලබන සංවිධාන සිය කටයුතු රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව පවත්වාගෙන යා යුතු බවට එම වගන්තියෙන් යෝජනා කර තිබූ අතර, එය සමාගම්ගත වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් විය හැකි බවට සිවිල් සමාජ සංවිධාන සහ පුරවැසියන් විරෝධය පළ කර තිබිණි.

රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න ඩී. විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අදාළ වගන්තිය වැරදි ලෙස අර්ථකථනය වීමේ අවදානමක් පවතින බව රජය පිළිගෙන ඇති බැවින් එය ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

පිළිගත් සෞඛ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් ඇතැම් සංවිධාන ක්‍රියාත්මක කළ සනීපාරක්ෂක වැඩපිළිවෙළක් පිළිබඳ අතීත අත්දැකීමක් පදනම් කරගනිමින් මෙම වගන්තිය ඇතුළත් කර තිබුණ ද, එමගින් සංවිධානවල නිදහසට බලපෑමක් ඇතිවිය හැකි බවට මතු වූ කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

එමෙන්ම පනත් කෙටුම්පතේ තවත් මතභේදාත්මක වගන්ති කිහිපයක් ද සංශෝධනය කිරීමට රජය සූදානම් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

පසුගිය ජූලි සහ අගෝස්තු මාසවලදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සිවිල් සමාජ සංවිධාන එකමුතුව අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව පනත් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා 13 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව මේ වන විට දෙවරක් රැස්වී ඇති අතර, මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යාංශ නියෝජිතයන් මෙන්ම මීට පෙර අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට නියමිතය.

මැතිවරණ සමයේදී දේශපාලන මතවාද ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධානවල අරමුදල් සහ සම්පත් භාවිත කිරීම තහනම් කිරීමට යෝජිත වගන්තිය සම්බන්ධයෙන් ද සිවිල් සංවිධාන විරෝධය පළ කර ඇත. සමාජ සේවා කටයුතු සඳහා මහජනතාව සහ පරිත්‍යාගශීලීන් ලබාදෙන මුදල් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනයට යෙදවීම මහජන විශ්වාසය කඩ කිරීමක් වුවද, සංවිධානවල අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හානියක් නොවන අයුරින් එම වගන්තිය සංශෝධනය කිරීමට රජය සූදානම් බව විතානගේ මහතා පවසා තිබේ.

මේ අතර, ලියාපදිංචිය ප්‍රතික්ෂේප වන අයැදුම්කරුවන්ට අභියාචනා කිරීමේ අවස්ථාවක් නොමැති බවට එල්ල වන චෝදනා ද රජය ප්‍රතික්ෂේප කරයි. ලියාපදිංචි අයැදුම්පතක් ප්‍රතික්ෂේප වුවහොත් මාසයක් ඇතුළත අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවත්, අවශ්‍ය නම් වඩාත් පුළුල් අභියාචනා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත් රජය සඳහන් කර ඇත.

එසේම, වරෙන්තුවකින් තොරව සංවිධාන පරිශ්‍ර පරීක්ෂා කිරීමේ බලයක් නිසි බලධාරියාට ලබාදී ඇති බවට පැතිර යන අදහස් ද රජය ප්‍රතික්ෂේප කර තිබේ. පනත් කෙටුම්පත යටතේ පූර්ව දැනුම්දීමකින් පසුව සාධාරණ වේලාවන්හිදී පමණක් එම පරිශ්‍රවලට ඇතුළු වී අදාළ ලේඛන පරීක්ෂා කිරීමට ප්‍රතිපාදන සලසා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වන විට රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලය යටතේ සංවිධාන 49,765ක් ලියාපදිංචි වී තිබේ. ඒ අතර ජාතික මට්ටමේ සංවිධාන 1,948ක්, දිස්ත්‍රික් මට්ටමේ සංවිධාන 1,067ක් සහ ප්‍රාදේශීය මට්ටමේ සංවිධාන 47,152ක් වන බව ද සඳහන් වේ.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා පැසිෆික් කණ්ඩායම විසින් 2026 ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 6 දක්වා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීමට පෙර මෙම නීති සමාලෝචනය සිදුකර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන 80කට අධික සංඛ්‍යාවක් මාස 18ක පමණ කාලයක් තිස්සේ සූදානම් වී ඇත. මෙම ඇගයීම අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකාව මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) අසාදු ලේඛනයට ඇතුළත් වීමේ අවදානමක් පවතින බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Social Sharing
නවතම පුවත්