
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා 2027 වසරේදී රජය ලබාදෙන මූල්‍ය දායකත්වය රුපියල් මිලියන 950 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. එය 2026 වසරේ ලබාදුන් දායකත්වයට සාපේක්ෂව සියයට 90ක වැඩිවීමකි.
ජාතික බිම් බෝම්බ ක්‍රියාකාරී වැඩසටහන පිළිබඳ හමුවක් 25 වන දා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේදී පැවැති අතර, එහිදී මේ බව අනාවරණය විය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් සහ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ සම සභාපතිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
මෙම අවස්ථාවට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට දැනටමත් දායකත්වය ලබාදෙන සහ ඉදිරියේදී දායක විය හැකි රටවල් නියෝජනය කරමින් තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගි වූහ.
ජාතික බිම් බෝම්බ ක්‍රියාකාරී මධ්‍යස්ථානය ඉදිරිපත් කළ දත්තවලට අනුව, 2002 වසරේ සිට මේ දක්වා වර්ග කිලෝමීටර් 233ක පමණ භූමි ප්‍රමාණයක් බිම් බෝම්බවලින් තොර ආරක්ෂිත භාවිතය සඳහා නිදහස් කර තිබේ.
එමෙන්ම බිම් බෝම්බ හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2002 වසරේදී 252ක් ලෙස වාර්තා වී තිබූ අතර, එය 2025 වසර වන විට දෙදෙනකු දක්වා අඩු වී තිබීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා දිගුකාලීනව සහාය ලබාදුන් හවුල්කාර රටවලට සහ එම රටවල ජනතාවට මෙහිදී රජය සිය කෘතඥතාව පළ කර තිබේ.
2032 වසර වන විට ඉතිරිව ඇති බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් කිරීමේ අරමුණින්, දැනට පවතින ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යාම සහ නව හවුල්කරුවන් මෙම වැඩසටහනට එක් කර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.
