
දික්කසාද නඩුවක තීන්දුවක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 65,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කොළඹ උතුර කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාති උසාවියේ ලේකම්වරිය ලෙස ද කටයුතු කර ඇත්තේ සැකකාර විනිසුරුවරයාගේ බිරිඳ බව අල්ලස් කොමිසම අනාවරණය කර ඇත.
දික්කසාද නඩුවකට අදාළ තීන්දුව කිසිදු ප්රමාදයකින් තොරව කඩිනමින් ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අද (19) කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වයි.
