චෙම්මනි ගැන ප්‍රකාශවලට එරෙහිව රාජ් සෝමදේවගේ අනුරුව යාපනයේදී ගිනිබත් කරයි!

යාපනයේ චෙම්මනි සමූහ මිනී වළ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝම දේවයන් විසින් සිදු කරන ලද සියලුම ප්‍රකාශ අසත්‍ය බව කියමින් පිරිසක් ඔහුගේ අනුරුවකට 17 දා යාපනය අරියාලේ ප්‍රදේශයේදී ගිනි තබා විරෝධය දැක්වූහ.

චෙම්මනි සමුහ මිනීවළ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතුරු වාර්තාවේ පිටපතක්ද උද්ඝෝෂකයින් මෙහිදී ගිනි තබා විරෝධය පළ කර ඇත.

චෙම්මනි සමුහ මිනී වළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය රාජ් සෝම දේවයන් වරෙක ප්‍රකාශ කොට ඇත්තේ මහා වසංගතයක් හේතුවෙන් මේ මරණ සිදුවන්නට ඇති බවයි. එම ප්‍රකාශයට විරෝධය දැක්වීම පිණිස යාපනයේ ස්වේච්ඡා සංවිධාන ගණනාවක් එක්ව පෙළපාලියක් හා උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබිණි. එහිදී ඔවුන් විරෝධය පළ කර සිටියේ සෝම දේවයන්ගේ අනුරුවක් තනා ඊට හා චෙම්මනි සමූහ මිනී වළ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතුරු වාර්තාවේ පිටපතකටද ගිනි තබමිනි.

චෙම්මනි සමූහ මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වා මිනිසුන් මෙතරම් විශාල ප්‍රමාණයක් මිය යෑමට හේතුව වහාම අනාවරණය කරන ලෙසද විරෝධතාකරුවෝ මෙහිදී ඉල්ලා සිටියහ.

(දිවයින)

Social Sharing
නවතම පුවත්