
මෙරට HIV සමඟ ජීවත්වන පුද්ගලයන් 8,700ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනූ ධර්ම කුලසිංහ මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (25) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය සඳහන් කළේ, 2025 වසරේදී මෙරටින් නව HIV ආසාදිතයන් 874 දෙනකු හඳුනාගෙන ඇති අතර, 2026 වසරේ ගත වූ පළමු මාස දහය තුළ පමණක් නව ආසාදිතයන් 708 දෙනකු හඳුනාගෙන ඇති බවයි.
HIV ආසාදන ඉහළ යාමට බලපාන ප්‍රධාන සාධක අතර පිරිමින් අතර සිදුවන සමලිංගික ලිංගික සම්බන්ධතා මෙන්ම මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේදී එකම එන්නත් කටු කිහිපදෙනකු අතර හුවමාරු කර ගැනීම ද පවතින බව ඇය පෙන්වා දුන්නාය.
තවද, තමන් HIV ආසාදිතයකු බව දැනුවත්ව සිටින්නේ හඳුනාගත යුතු ආසාදිතයන්ගෙන් සියයට 66ක පමණ ප්‍රමාණයක් බව ද ඇය සඳහන් කළාය. විශේෂයෙන් වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ වයස් කාණ්ඩයේ HIV ආසාදන ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද ඇය පැවසුවාය.
2025 වසරේදී හඳුනාගත් නව HIV ආසාදිතයන්ගෙන් සියයට 87ක්ම පිරිමි පුද්ගලයන් බව ද මෙහිදී අනාවරණය විය.
මේ අතර, එම වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උමේධා ජයසිංහ මහත්මිය සඳහන් කළේ HIV වෛරසය ශරීරගත වූ පුද්ගලයකුට වසර 8ත් 9ත් අතර කාලයක් කිසිදු පැහැදිලි රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටිය හැකි බවයි.
එම කාලය තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වන බැවින්, රෝගය කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.
HIV ආසාදිත පුද්ගලයන්ට නිසි ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් යටතේ දිගුකාලීනව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාව පවතින බව පෙන්වා දුන් ඇය, දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි HIV සහ ලිංගාශ්‍රිත රෝග සායන 40ක් ස්ථාපිත කර ඇති බව ද සඳහන් කළාය.
HIV ආසාදනය හඳුනාගත් පුද්ගලයන් වෛද්‍ය උපදෙස් අනුව අඛණ්ඩව ප්‍රතිකාර ලබාගත යුතු බවත්, නිසි ප්‍රතිකාර මගින් වෛරසය පාලනය කරමින් දිගු ආයු කාලයක් සහිතව ජීවත් විය හැකි බවත් ඇය පැවසුවාය.
එමෙන්ම, ලිංගික අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව ද විශේෂඥ වෛද්‍ය උමේධා ජයසිංහ මහත්මිය සඳහන් කළාය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් HIV ආසාදනය පිළිබඳ අනවශ්‍ය බියකින් තොරව, සැකයක් හෝ අවදානමක් පවතින්නේ නම් කඩිනමින් HIV සායනයකට පැමිණ පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම මාධ්‍ය හමුවට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය මාධවී ගුණතිලක මහත්මිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
