අවුරුදු 15ක දැරියක්, මාස දෙකක බිළිඳියක් සහ නකල්ස් කඳුකරයේ හුදෙකලා ගල්ගුහාවක්. මෙය හුදෙක් අපරාධ පුවතක් නොවේ. දරුවන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ නිවැරදි දැනුම ලබාදීමටත්, ඔවුන් අපයෝජනයෙන් ආරක්ෂා කිරීමටත් අපේ සමාජය සහ අධ්‍යාපන පද්ධතිය අසමත් වී තිබේද යන්න විමසා බැලිය යුතු බරපතළ සමාජීය අනතුරු ඇඟවීමකි.
නකල්ස් කඳුකරයේ හුදෙකලා වනාන්තරයක ගල්ගුහාවක මාස දෙකක් වයසැති බිළිඳියක් සමඟ ජීවත් වෙමින් සිටි අවුරුදු 15ක දැරියක් උඩුදුම්බර පොලිසිය විසින් සොයාගැනීමේ පුවත රටම කම්පනයට පත් කළේය. මාස පහකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි මෙම දැරිය එම කාලය තුළ ගැබ්ගෙන, සෞඛ්‍ය පහසුකම්වලින් තොරව දරුවකු ප්‍රසූත කර තිබීම මෙම සිදුවීමේ බරපතළකම තවත් වැඩි කරයි.
එහෙත් මෙම සිදුවීමේ සැබෑ ඛේදවාචකය ගල්ගුහාවක දරු ප්‍රසූතියකට පමණක් සීමා නොවේ. මාධ්‍ය වාර්තා අනුව, මෙම දැරිය මීට පෙර අවස්ථා ගණනාවකදී වැඩිහිටි පුද්ගලයන්ගේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව මෙය එක් පුද්ගලයකු සමඟ ඇති වූ සබඳතාවක් හේතුවෙන් සිදුවූ සිද්ධියක් ලෙස පමණක් සැලකිය නොහැකිය. දරුවකු දිගු කාලයක් තිස්සේ අපයෝජනයට ලක්වීමට ඉඩ සැලසූ සමාජීය සහ ආයතනික පරිසරය පිළිබඳව ද අප විමසිය යුතුය.
මෙහිදී මතුවන ප්‍රධාන ප්රශ්නය වන්නේ අවුරුදු 15ක දැරියකට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවන තෙක් ඇය වටා සිටි වැඩිහිටි සමාජය, පවුල, පාසල සහ ළමා ආරක්ෂණ යාන්ත්‍රණ ක්‍රියාත්මක වූයේ කෙසේද යන්නයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික නව යොවුන් ගැබ් ගැනීම් සංඛ්‍යාව කොපමණද?

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2024 වාර්ෂික සෞඛ්‍ය වාර්තාවට අනුව, 2024 වසරේදී මෙරට නව යොවුන් ගැබිනි මව්වරුන් 8,778 දෙනකු ලියාපදිංචි වී තිබේ. 2019 වසරේදී මෙම සංඛ්‍යාව 14,887ක් වූ අතර, එය වසර පහක් තුළ සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එහෙත් 2024 වසරේදී පමණක් අවුරුදු 16ට අඩු දැරියන් 218 දෙනකු ගැබිනි මව්වරුන් ලෙස ලියාපදිංචි වී තිබීම විශේෂ අවධානයට ලක්විය යුතුය.
මෙම සංඛ්‍යා ලේඛන හුදෙක් ගැබ් ගැනීම් පිළිබඳ දත්ත නොවේ. ඒවා නව යොවුන් වියේ දරුවන්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජීය ආරක්ෂාව සහ ළමා අයිතිවාසිකම් පිළිබඳව අප ඉදිරියේ තබන ප්‍රශ්න සමූහයකි. විශේෂයෙන්ම වයස අවුරුදු 16ට අඩු දැරියන් ගැබ් ගැනීමේදී ඒවායේ පසුබිම තුළ බලහත්කාරය, ලිංගික අපයෝජනය හෝ වෙනත් අවදානම් තත්ත්වයන් තිබේද යන්න විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ.
එබැවින් ලිංගික අධ්‍යාපනය, ගැබ් ගැනීම වැළැක්වීමේ දැනුම, දරුවන්ගේ ශරීර ස්වාධිපත්‍යය සහ අපයෝජනයෙන් ආරක්ෂා වීම පිළිබඳ අධ්‍යාපනය පාසල් පද්ධතිය තුළ වඩාත් ශක්තිමත් කළ යුතුය.
ලිංගික අධ්‍යාපනය තවදුරටත් තහනම් මාතෘකාවක්ද?
ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ කතා කිරීම තවමත් බොහෝ පවුල්වල සහ පාසල්වල අපහසු මාතෘකාවකි. දරුවන් වැඩිවියට පත්වන විට ඔවුන්ගේ ශරීරයේ සිදුවන වෙනස්කම්, ලිංගික සබඳතා, ගැබ් ගැනීම සහ එය වැළැක්වීමේ ක්‍රම පිළිබඳ විවෘතව කතා කිරීමට වැඩිහිටි සමාජය පසුබට වෙයි.
බොහෝ අවස්ථාවල ලිංගික අධ්‍යාපනය ලබාදීම යනු දරුවන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා උනන්දු කිරීමක් ලෙස වැරදි අර්ථකථනය කරනු ලබයි. එහෙත් විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනයේ අරමුණ එය නොවේ. එහි අරමුණ වන්නේ දරුවන්ට තම ශරීරය පිළිබඳ අවබෝධයක් ලබාදීම, තමන්ට ඇති අයිතිවාසිකම් හඳුනාගැනීමට උපකාර කිරීම සහ අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය දැනුම ලබාදීමයි.
විශේෂයෙන්ම නව යොවුන් වියේ දරුවන්ට ගැබ් ගැනීම සිදුවන්නේ කෙසේද, ගැබ් ගැනීම වැළැක්වීමේ ක්‍රම මොනවාද, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මොනවාද සහ අනාරක්ෂිත සබඳතාවකදී උපකාර ලබාගත හැක්කේ කොතැනින්ද යන්න පිළිබඳ නිවැරදි දැනුමක් තිබිය යුතුය.
මෙවැනි දැනුමක් තිබීමෙන් අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමට යම් අවස්ථාවක් ලැබේ. එහෙත් ලිංගික අපයෝජනයක් වැළැක්වීම සඳහා ගැබ් ගැනීම පිළිබඳ දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා කැමැත්ත, බලහත්කාරය, රැවටීම, ලිංගික සීමාවන් සහ තම ශරීරය පිළිබඳ ස්වාධිපත්‍යය පිළිබඳව දරුවන් දැනුවත් කළ යුතුය.
වැදගත්ම කරුණ වන්නේ ලිංගික අපයෝජනයට ලක්වීමේ වගකීම දරුවාගේ දැනුම හෝ නොදැනුම මත පැවරිය නොහැකි බවයි. අපයෝජනයක වගකීම අපයෝජනය සිදුකරන පුද්ගලයා සතුය.
ගැබ් ගැනීම වැළැක්වීම පිළිබඳ දැනුම දරුවන්ට අත්‍යවශ්‍ය ඇයි?

නව යොවුන් ගැබ් ගැනීම යනු හුදෙක් දරුවකු බිහිවීම පිළිබඳ කාරණයක් නොවේ. එය දැරියකගේ අධ්‍යාපනය, ශාරීරික සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය සහ අනාගත ජීවන අවස්ථා සමඟ සෘජුව සම්බන්ධ වේ.
අඩු වයසින් ගැබ් ගැනීමේදී මවට සහ බිළිඳාට සෞඛ්‍ය අවදානම් ඇතිවිය හැකිය. විශේෂයෙන්ම නිසි පූර්ව ප්‍රසව සායනික පරීක්ෂණ, පෝෂණය සහ වෛද්‍ය උපදෙස් නොලැබෙන අවස්ථාවල අවදානම තවත් ඉහළ යයි.
ගැබ් ගැනීම වළක්වා ගැනීමේ ක්‍රම පිළිබඳ දැනුමක් නොමැතිවීම, සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඇති බාධා සහ ලිංගිකත්වය පිළිබඳ විවෘතව කතා කිරීමට ඇති සමාජීය බිය මෙවැනි අවදානම් තත්ත්වයන් තීව්ර කළ හැකිය.
දරුවකුට තමන් ගැබ්ගෙන ඇති බව හඳුනාගැනීමට, වෛද්‍ය සහාය ලබාගැනීමට සහ අනාරක්ෂිත තත්ත්වයකින් මිදීමට අවශ්‍ය දැනුම ලබාදීම අධ්‍යාපන පද්ධතියේ සහ සෞඛ්‍ය පද්ධතියේ වගකීමකි.
නකල්ස් කඳුකරයේ සිදුවීමේදී දැරියට මාස දෙකක බිළිඳියක් ලැබෙන තෙක් ඇය නිසි සෞඛ්‍ය සේවාවකට ප්‍රවේශ වී නොතිබීම ද විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.
ලිංගික අපයෝජනය හඳුනාගැනීමට දරුවන්ට උගන්වා තිබේද?

ලිංගික අධ්‍යාපනයේ තවත් වැදගත් අංගයක් වන්නේ දරුවන්ට තමන් අපයෝජනයට ලක්වන බව හඳුනාගැනීමට හැකි කිරීමයි.
සමහර අපයෝජකයන් දරුවන් සමඟ විශ්වාස සබඳතා ගොඩනඟා ගනිමින්, ආදරය, තෑගි, ආරක්ෂාව හෝ වෙනත් වරප්‍රසාද ලබාදෙන බව පෙන්වා ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරති. පසුව එම සබඳතාව අපයෝජනය සඳහා යොදාගැනීමේ අවදානමක් පවතී. මෙය ළමා ලිංගික අපයෝජනයේදී හඳුනාගත යුතු වැදගත් හැසිරීම් රටාවකි.
දරුවන්ට තම ශරීරය පිළිබඳ අයිතිය, අනවශ්‍ය ස්පර්ශයන් ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය, රහසක් ලෙස තබාගන්නැයි පවසන අපයෝජන හැසිරීම් හඳුනාගැනීම සහ තමන්ට සිදුවන අසාධාරණයක් පිළිබඳ විශ්වාසවන්ත වැඩිහිටියකුට පැවසීමේ වැදගත්කම කුඩා වයසේ සිටම ඉගැන්විය යුතුය.
එසේම දරුවකු අපයෝජනයක් පිළිබඳ හෙළිදරව් කළ විට ඔහුට හෝ ඇයට දොස් පැවරීමෙන් වැළකී, විශ්වාස කර, ආරක්ෂාව සලසා, නිසි ආයතන වෙත යොමු කිරීම වැඩිහිටියන්ගේ වගකීමකි.
පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම පමණක් ප්‍රමාණවත්ද?

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ කරුණු මුළුමනින්ම බැහැර කර නැත. ඒවා විද්‍යාව සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය යන විෂයයන්ට ඇතුළත් කර තිබේ. එහෙත් එවැනි කරුණු විෂය නිර්දේශයට ඇතුළත් කර තිබීම සහ දරුවන්ට ප්‍රමාණවත් දැනුමක් ලැබීම එකම කාරණයක් නොවේ.
2026 ජූලි මාසයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ UNFPA ශ්‍රී ලංකා කාර්යාලය එක්ව වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය සඳහා ජාතික මාර්ගෝපදේශයක් හඳුන්වා දී තිබීම වැදගත් ඉදිරි පියවරකි. එම මාර්ගෝපදේශය තුළ වැඩිවිය පැමිණීම, ප්‍රජනන පද්ධතිය, ගැබ් ගැනීම, උපත් පාලනය, ලිංගික අපයෝජනය හඳුනාගැනීම, කැමැත්ත සහ ශරීරයේ ස්වාධිපත්‍යය වැනි කරුණු ඇතුළත් වේ.
එහෙත් ප්රශ්නය වන්නේ මෙම දැනුම ප්‍රායෝගිකව දරුවන් වෙත ළඟා වී තිබේද යන්නයි. පාසල් විෂය නිර්දේශයට කරුණු ඇතුළත් කිරීමෙන් පමණක් දරුවන්ගේ දැනුම වර්ධනය නොවේ. පුහුණු ගුරුවරුන්, ප්‍රමාණවත් ඉගැන්වීම් කාලය, විද්‍යාත්මක අධ්‍යාපනික ද්‍රව්‍ය සහ දරුවන්ට ප්‍රශ්න ඇසීමට හැකි ආරක්ෂිත පරිසරයක් ද අවශ්‍යය.
නකල්ස් කඳුකරයේ සිදුවීම වැනි ඛේදවාචකයක් හමුවේ අප විමසිය යුත්තේ ලිංගික අධ්‍යාපනය විෂය නිර්දේශයේ තිබේද යන්න පමණක් නොවේ. එය දරුවන්ගේ ජීවිතවලට ප්‍රායෝගිකව ලැබී තිබේද යන්නයි.
ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාව අමාත්‍යවරියත් පිළිගනී. ක්‍රියාත්මක වන්නේ කවදාද?

නකල්ස් කඳුකරයේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ද අවධාරණය කර ඇත්තේ දරුවන්ට කුඩා වයසේ සිටම ලිංගික අධ්‍යාපනය සහ රටේ නීතිය පිළිබඳ මූලික දැනුම ලබාදිය යුතු බවයි.
2026 නොවැම්බර් 16 වැනිදා මහනුවර ජාතික රෝහලේදී දැරිය සහ බිළිඳියගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 16ට අඩු දරුවකු සමඟ ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම, දරුවාගේ කැමැත්ත ප්‍රකාශ කිරීම කෙසේ වෙතත් නීතිය යටතේ ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකෙන බවයි. එවැනි සිදුවීම් ප්‍රේම සම්බන්ධතා හෝ වීර ක්‍රියා ලෙස හුවා දැක්වීම ද ඇය විවේචනය කර තිබේ.
මෙහිදී විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් වන්නේ අමාත්‍යවරිය මීට පෙර ද පාසල් ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාව අවධාරණය කර තිබීමයි. 2025 ජූලි මාසයේදී පාසල් වයසේ දැරියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ පාසල් දරුවන්ට වයසට ගැළපෙන විස්තීර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා විද්‍යාත්මක උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාව ද ඇය එහිදී පෙන්වා දී තිබිණි.
එසේ නම් දැන් මතුවන ප්රශ්නය වන්නේ අමාත්‍යවරිය විසින්ම පිළිගෙන ඇති මෙම අවශ්‍යතාව පාසල් පද්ධතිය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කවදාද යන්නයි.
ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳව දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵල මොනවාද? ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කර තිබේද? නව මාර්ගෝපදේශ පාසල්වලට ලබාදී තිබේද? ඒවා ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන්නේ කෙසේද?
නකල්ස් සිදුවීමෙන් නැවතත් පැහැදිලි වන්නේ ලිංගික අධ්‍යාපනය යනු අනාගතයට කල් දැමිය හැකි විෂයක් නොවන බවයි. එය දරුවන්ගේ ජීවිත හා ආරක්ෂාව සමඟ සෘජුව බැඳී ඇති අත්‍යවශ්‍ය අධ්‍යාපනික වගකීමකි.
දරුවා සොයාගැනීමෙන් රාජ්‍යයේ වගකීම අවසන් නොවේ
නකල්ස් කඳුකරයේදී දැරිය සහ බිළිඳිය සොයාගෙන රෝහල්ගත කිරීම පොලිසිය විසින් ගත් වැදගත් පියවරකි. එහෙත් මෙවැනි සිදුවීමකදී රාජ්‍යයේ වගකීම ආරම්භ වන්නේ ඉන් පසුවය.
දැරියගේ ශාරීරික සෞඛ්‍යය පමණක් නොව මානසික සෞඛ්‍යය ද ආරක්ෂා කළ යුතුය. ඇයට අවශ්‍ය මනෝසමාජීය සහාය, නීතිමය ආරක්ෂාව, අධ්‍යාපනයට නැවත ප්‍රවේශ වීමේ අවස්ථාව සහ සුරක්ෂිත පරිසරයක ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුය.
මාස දෙකක් වයසැති බිළිඳියගේ සෞඛ්‍යය, පෝෂණය සහ ආරක්ෂාව පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතුය.
එසේම මෙම සිදුවීමට අදාළ අපරාධ විමර්ශන ස්වාධීනව සහ විනිවිදභාවයෙන් සිදුකළ යුතු අතර, අපයෝජනයට සම්බන්ධ සියලු චෝදනා නීතිය ඉදිරියේ විමර්ශනය කළ යුතුය.
මෙවැනි සිදුවීම්වලදී දැරියගේ අනන්‍යතාව හෙළි නොකිරීම, ඇය නැවත සමාජීය අපකීර්තියට ලක් නොවන පරිදි කටයුතු කිරීම සහ ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම මාධ්‍යයේ ද වගකීමකි.
ලිංගික අධ්‍යාපනය තවදුරටත් මඟහැරිය හැකිද?

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැනි ආයතන පෙන්වා දෙන්නේ වයසට ගැළපෙන, විද්‍යාත්මක සහ පුළුල් ලිංගික අධ්‍යාපනය දරුවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය බවයි.
මෙවැනි අධ්‍යාපනය දරුවන් ලිංගික ක්‍රියාකාරකම්වලට යොමු කිරීමක් නොවේ. එය වගකීම් සහගත තීරණ ගැනීමට, අනාරක්ෂිත සබඳතා හඳුනාගැනීමට, අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමට සහ අපයෝජනයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය දැනුම ලබාදීමකි.
නකල්ස් කඳුකරයේ ගල්ගුහාවකින් සොයාගත් 15 හැවිරිදි දැරියගේ ජීවිතය නැවත ගොඩනැඟීම අද අප ඉදිරියේ ඇති ක්ෂණික වගකීමයි. එහෙත් එවැනි තවත් දැරියක් හෝ දරුවකු හෙට මෙවැනි ඉරණමකට ගොදුරු නොවීමට අවශ්‍ය පද්ධතිමය වෙනස්කම් ඇති කිරීම ඊටත් වඩා විශාල වගකීමකි.
ලිංගිකත්වය පිළිබඳ කතා නොකර දරුවන් ආරක්ෂා කළ නොහැකිය. ගැබ් ගැනීම පිළිබඳ දැනුම සඟවා තබා අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වාගත නොහැකිය. අපයෝජනය පිළිබඳ කතා කිරීමට දරුවන්ට අවකාශයක් නොදී ඔවුන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකිය.
නකල්ස් ගල්ගුහාවේ සිදුවීම තවත් එක් අපරාධ පුවතක් බවට පත්වී කාලයත් සමඟ අමතක වී යාමට ඉඩ නොදිය යුතුය. එය අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති, ළමා ආරක්ෂණ ක්‍රමවේද සහ සමාජීය ආකල්ප නැවත විමසා බැලීමට බලකරන අවස්ථාවක් කරගත යුතුය.
දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සදාචාරයට එරෙහි ක්‍රියාවක් නොවේ. එය ඔවුන්ගේ ශරීරය, අයිතිවාසිකම් සහ අනාගතය ආරක්ෂා කිරීම සඳහා සමාජය විසින් ඉටු කළ යුතු වගකීමකි. නකල්ස් ගල්ගුහාවේ ඛේදවාචකය අපට කියාදෙන පාඩම එයයි.
– ප්‍රසාද් රණසිංහආරච්චි

