
මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී 2008 වසරේදී දේවදාස් සුරේස්කුමාර් නමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ ඊ.පී.ඩී.පී. (EPDP) සාමාජිකයන් අට දෙනකුට මඩකලපුව මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්රභාකරන් මහතා විසින් ලබාදුන් මෙම තීන්දුව මඟින් නඩුවේ නවවැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර ඇත.
2008 ජුනි 19 වැනිදා දේවදාස් සුරේස්කුමාර් නමැත්තා එවකට වෙන් කලඩි කඳවුරට සම්බන්ධ ඊ.පී.ඩී.පී. සාමාජිකයන් පිරිසක් විසින් වාහනයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබිණි.
ඝාතනයෙන් අනතුරුව ඔහුගේ මළසිරුර වළ දමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව ද නඩු විභාගයේදී අනාවරණය වී තිබේ. පැහැර ගැනීම සඳහා යොදාගත් බව කියන වාහනය ද පොලීසිය විසින් සොයාගෙන තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලීසිය විසින් ඊ.පී.ඩී.පී. සංවිධානයට අයත් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබූ අතර, 2016 වසරේදී නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණය වෙත යොමු කර තිබිණි.
දීර්ඝ කාලයක් පැවැති නඩු විභාගයෙන් අනතුරුව රවී හෙවත් ධර්මලිංගම් ඉලමාරන්, වීරක්කුට්ටි සේකර්, විජේ හෙවත් මහේන්ද්‍රරාජා විනෝරාජ්, ජෙකා හෙවත් යෝගරාසා ජෙයකුමාර්, ශ්‍රී හෙවත් ශ්‍රී ස්කන්දරාජා නාගනාදන්, සිවා හෙවත් සොක්කලිංගම් නාගරාසා, අරුල් හෙවත් අරුණාචලම් රාමචන්ද්‍රන් සහ විජි හෙවත් ගෝවින්දන් ප්‍රදීපන් යන අට දෙනා අධිකරණය විසින් වරදකරුවන් ලෙස තීරණය කර තිබේ.
ඒ අනුව, නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීමේ පළමු චෝදනාවට මාස හයක ලිහිල් සිරදඬුවමක් ද, මනුෂ්‍ය ඝාතනයට අදාළ සෙසු චෝදනාවලට මරණ දඬුවම ද නියම කර ඇත.
