
2025 වසර තුළ ලොව පුරා කාන්තාවන් සහ ගැහැණු ළමුන් 47,000ක් තම සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් අතින් ඝාතනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් අනාවරණය කරයි. ඒ අනුව, දිනකට කාන්තාවන් 129 දෙනෙකු බැගින් හෙවත් සෑම පැයකටම කාන්තාවන් පස් දෙනෙකු පමණ මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) එක්ව නොවැම්බර් 24 වැනිදා නිකුත් කළ The Femicide Brief නම් වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව නිකුත් කර ඇති මෙම වාර්තාව පෙන්වා දෙන්නේ කාන්තාවකට හෝ ගැහැණු ළමයෙකුට වඩාත්ම අනතුරුදායක ස්ථානය ඇය ජීවත් වන නිවස බවයි.
වාර්තාවට අනුව, 2025 වසරේ ලොව පුරා කාන්තාවන් සහ ගැහැණු ළමුන් 78,000ක් ඝාතනයට ලක්ව ඇති අතර, ඉන් සියයට 60ක් එනම් 47,000ක් පමණ ඝාතනය කර ඇත්තේ ඔවුන්ගේ සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසිනි. මෙයින් පැහැදිලි වන්නේ කාන්තාවන්ට වඩාත්ම සමීප පුද්ගලයන්ගෙන් පවා ඔවුන්ට ජීවිත තර්ජන එල්ල වන බවයි.
කලාපීය වශයෙන් සලකා බැලීමේදී සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් අතින් සිදුවන කාන්තා ඝාතන අනුපාතය ඉහළම මට්ටමක පවතින්නේ අප්‍රිකානු කලාපයේය. එහිදී සෑම කාන්තාවන් 100,000කටම 2.9 දෙනෙකු මෙවැනි ඝාතනවලට ගොදුරු වේ. ඇමරිකානු කලාපයේ එම අනුපාතය 1.4ක් වන අතර, ඕෂනියා කලාපයේ 1.1ක්, ආසියාවේ 0.6ක් සහ යුරෝපයේ 0.5ක් ලෙස වාර්තා වී තිබේ.
ගෝලීය වශයෙන් සාමාන්‍ය මිනිස් ඝාතන අනුපාතය පහත වැටෙමින් පැවතියද, කාන්තාවන් ඉලක්ක කරගත් ඝාතන (Femicide) අනුපාතය පහත වැටී ඇත්තේ ඉතා මන්දගාමී වේගයකින් බවද වාර්තාව අවධාරණය කරයි.
උදාහරණයක් ලෙස, 2010 සිට 2025 දක්වා කාලය තුළ ඇමරිකානු කලාපයේ සාමාන්‍ය මිනිස් ඝාතන අනුපාතය සියයට 23කින් පහත වැටී තිබුණද, කාන්තා ඝාතන අනුපාතය පහත වැටී ඇත්තේ සියයට 12කින් පමණි. යුරෝපයේ සාමාන්‍ය මිනිස් ඝාතන අනුපාතය සියයට 43කින් අඩු වී ඇති අතර, කාන්තා ඝාතන අනුපාතය අඩු වී ඇත්තේ සියයට 28කින් පමණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් UNODC විධායක අධ්‍යක්ෂිකා මොනිකා ජුමා සඳහන් කර ඇත්තේ දිගු කාලයක් තිස්සේ මෙම සංඛ්‍යාලේඛනවල කිසිදු සතුටුදායක වෙනසක් දක්නට නොලැබෙන බවයි. හානිකර සමාජ ආකල්ප, සමාජ සම්මතයන් සහ ආයතනික ආරක්ෂණ යාන්ත්‍රණවල අසාර්ථකත්වය හේතුවෙන් කාන්තාවන් ඝාතනය වීම සාමාන්‍යකරණය වන පරිසරයක් නිර්මාණය වී ඇති බවද ඇය පෙන්වා දී තිබේ.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා සමාජ ආකල්ප වෙනස් කිරීම, ගෘහස්ථ ප්රචණ්ඩත්වය සිදුකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ කාන්තාවන්ගේ මානව හිමිකම් හා ගෞරවය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
UN Women විධායක අධ්‍යක්ෂිකා සිමා බහූස් පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බොහෝ කාන්තාවන්ට තම පවුලේ සාමාජිකයන්ගෙන්, ප්‍රජාවෙන් හෝ බලධාරීන්ගෙන් සහාය ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි. ප්රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි කිරීමට ඇති බාධා, අනතුරු ඇඟවීමේ ලකුණු නොසලකා හැරීම, නිසි විමර්ශන සිදු නොකිරීම සහ වරදකරුවන් නීතිය හමුවට නොපැමිණවීම කාන්තාවන්ගේ ජීවිතවලට මාරාන්තික ප්‍රතිවිපාක ඇති කරන බවද ඇය සඳහන් කර තිබේ.
එමෙන්ම, 2025 වසරේ පවුල් සහ සමීප සබඳතා ආශ්රිත ඝාතනවලට ලක්වූ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සංඛ්‍යාව 2024 වසරේ ඇස්තමේන්තුගත 50,000ක සංඛ්‍යාවට සාපේක්ෂව අඩු වී ඇති බව පෙනී ගියද, එය සැබෑ ඝාතන අඩුවීමක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව වාර්තාවේ සංස්කාරක සටහනෙහි දැක්වේ. එම වෙනසට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රටවල් මට්ටමින් දත්ත ලබා ගැනීමේ ක්‍රමවේද වැඩිදියුණු වීමයි.
මේ අතර, නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන මෙවර කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ දින 16ක ක්‍රියාකාරීත්වය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ අවධානයක් යොමු කර තිබේ.
‘කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි ප්රචණ්ඩත්වය අවසන් කිරීමට එක්වන්න: යුක්තිය සහතික කරන්න, දිවි ගලවා ගත් අය ආරක්ෂා කරන්න, දඬුවම් නොලබා සිටීම අවසන් කරන්න’ යන තේමාව යටතේ මෙවර වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙහි සංකේතාත්මක ක්‍රියාකාරකමක් ලෙස නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ තැඹිලි පැහැති කොඩි 129ක් ප්‍රදර්ශනය කර තිබේ. එම සෑම කොඩියක්ම දිනකට ඝාතනයට ලක්වන එක් කාන්තාවක් හෝ ගැහැණු ළමයෙකු නියෝජනය කරයි. විවිධ පසුබිම්වලට අයත් කාන්තාවන් 129 දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව තිබුණේ ඝාතනයට ලක්වූ කාන්තාවන් සිහිපත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් හඬ නැඟීම සංකේතවත් කරමිනි.
කාන්තා ඝාතනය යනු හුදෙක් ඝාතනයක් පමණක් නොව, බොහෝ අවස්ථාවලදී ඊට පෙර පැවති ප්රචණ්ඩත්වය, තර්ජන සහ නොසලකා හරින ලද අනතුරු ඇඟවීමේ සංඥාවල අවසාන ප්‍රතිඵලය බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
එබැවින් කාන්තාවන්ට සහ දැරියන්ට ආරක්ෂිතව පැමිණිලි කිරීමට, අවශ්‍ය ආරක්ෂාව හා සහාය ලබා ගැනීමට අවස්ථාව සැලසීමත්, ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමත් කාන්තා ඝාතන වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය පියවර බව එම සංවිධාන පෙන්වා දෙයි.
