
සති කිහිපයක් පුරා පැවැති සේවක විරෝධතා සහ වැඩවර්ජන හමුවේ බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තයේ සේවකයන්ගේ අවම මාසික වැටුප සියයට 36කින් ඉහළ නැංවීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් අමෙරිකානු ඩොලර් 102ක් (බංග්ලාදේශ ටකා 12,500ක්)ව පැවැති අවම මාසික වැටුප ඩොලර් 139ක් (ටකා 17,000ක්) දක්වා ඉහළ යනු ඇත. කෙසේ වෙතත්, මෙය වසර 10කට වැඩි කාලයක් තුළ එරට ඇඟලුම් ක්ෂේත්රයේ සිදුකළ අඩුම වැටුප් සංශෝධනය ලෙස වාර්තා වේ.
ඇඟලුම් සේවකයන්ගේ අවම වැටුප දෙගුණයකින් ඉහළ නංවන ලෙස ඉල්ලා ආරම්භ කළ විරෝධතා හේතුවෙන් එරට කර්මාන්තශාලා රැසක් වසා දැමීමට සිදුවූ අතර, මහාමාර්ග අවහිර කිරීම් හේතුවෙන් නිෂ්පාදන කටයුතුවලට ද දැඩි බාධා එල්ල විය.
සේවකයන් මිලියන 4කට අධික පිරිසක් රැකියාවල නිරත වන බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තය එරට අපනයන ආදායමෙන් සියයට 80කට වැඩි ප්‍රමාණයකට දායකත්වය සපයයි. H&M, Zara, Walmart, Target සහ Gap වැනි ලොව ප්රමුඛ පෙළේ ඇඟලුම් සන්නාම සඳහා නිෂ්පාදන සැපයීම සිදුකරන්නේ ද එරට කර්මාන්තශාලා මගිනි.
රජය විසින් පත්කරන ලද සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වේතන මණ්ඩලය පැය 12කට ආසන්න කාලයක් පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව නව වැටුප් ව්‍යුහය වැඩි ඡන්ද 4-2කින් සම්මත කරගෙන තිබේ.
විරෝධතා ආරම්භයේදී සේවකයන් අවම මාසික වැටුප ටකා 32,000ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා සිටි අතර පසුව එම ඉල්ලීම ටකා 18,000 දක්වා සංශෝධනය කර තිබුණි. කෙසේ වෙතත්, කර්මාන්තශාලා හිමියන්ගේ අවසන් යෝජනාව වූ ටකා 17,000ක අවම වැටුප අනුමත කිරීමට වේතන මණ්ඩලය පියවර ගෙන ඇත.
නව වැටුප් ව්‍යුහය යටතේ සේවකයන් කාණ්ඩ හතරකට වර්ගීකරණය කර ඇති අතර, ඔවුන්ගේ මාසික වැටුප ටකා 17,000 සිට ටකා 21,500 දක්වා පරාසයක පවතිනු ඇත.
මේ අතර, පැවැති විරෝධතා සහ උද්ඝෝෂණ හේතුවෙන් දින 18ක කාලයක් තුළ කර්මාන්තශාලා 317කට අමෙරිකානු ඩොලර් මිලියන 428ක නිෂ්පාදන අලාභයක් සිදුව ඇති බව බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම, විදේශීය ඇණවුම්කරුවන් විසින් ඩොලර් මිලියන 254ක් පමණ වටිනා ඇඟලුම් ඇණවුම් වෙනත් රටවලට යොමු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
නව වැටුප් ක්‍රමය දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ වැටුප් ගෙවීම් ජනවාරි මාසයේ සිට සේවකයන්ට හිමිවීමට නියමිතය.
