
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික තරුණයකු වන අනෝජන් සිවරාසා මහතා නිදොස් කොට නිදහස් කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ. සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඔහු ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව රජය පවසයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු මැදිහත්වීම සහ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම හේතුවෙන් අනෝජන් සිවරාසා මහතා නිදහස් කර ගැනීමට හැකි වූ බවයි.
මුහම්මද් නබිතුමාට අපහාසයක් ලෙස සැලකෙන ෆේස්බුක් සටහනක් පළ කිරීමේ චෝදනාවක් මත සෞදි අරාබියේ අධිකරණයක් විසින් ඔහුට පළමුව වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි. පසුව රජයේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බැලූ අභියාචනාධිකරණය එම තීන්දුව වෙනස් කරමින් ඔහුට මරණ දඬුවම නියම කර තිබුණි.
මෙම තීන්දුවට එරෙහිව සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය මැදිහත් වූ අතර, ඒ සඳහා ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් ද සෞදි අරාබියට ගොස් තිබිණි. එරට නීතිඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා පවත්වා අවශ්‍ය නීතිමය කරුණු ඉදිරිපත් කිරීම් සිදුකරමින් මෙම නඩු කටයුත්ත මෙහෙයවා තිබේ.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලය ඒකාබද්ධව මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදුකර ඇත. ඊට අමතරව අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර, ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමක් ද සෞදි නීතිඥවරුන් සමඟ එක්ව කටයුතු කර තිබේ.
මෙම කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ අසාද් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් දායක වී ඇත.
එමෙන්ම, අනෝජන්ගේ නඩුවට අදාළ නීතිමය වියදම් රජය විසින් දැරීමටත්, ඔහුගේ පවුලේ සාමාජිකයන් මීට පෙර දැරූ නීතිමය වියදම් ප්‍රතිපූර්ණය කිරීමටත් තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනෝජන් සිවරාසා මහතා 2025 සැප්තැම්බර් 4 වැනිදා රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබේ. පසුගිය ජූලි 27 වැනිදා ඔහු විසින් ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද සටහනක් සම්බන්ධයෙන් ආගමික අපහාස චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට, සෞදි අරාබියානු රජයට, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට සහ නීතිමය කටයුතු සඳහා දායක වූ සියලු පාර්ශ්වයන්ට සිය ප්‍රණාමය පළ කළේය.
අනෝජන් සිවරාසා මහතා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර රජය විසින් ගනු ලබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
