
ව්‍යාජ ඔප්පුවක් සකස් කර ඉඩමක් ලියාපදිංචි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නීතිඥවරයකුට එරෙහිව පවරා ඇති නඩුවක සාක්ෂි විභාගය අතරතුර අත්‍යවශ්‍ය ලේඛන රැගෙන නොපැමිණීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (11) දැඩි ලෙස අවවාද කළාය.
අදාළ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා විශේෂ සාක්ෂිකරුවකු ලෙස කැඳවා තිබූ විශ්‍රාමික බැංකු කළමනාකරුවකුට සාක්ෂි ලබාදීමේදී පෙන්වා තහවුරු කරගැනීමට අවශ්‍ය අත්‍යවශ්‍ය ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම පිළිබඳව විනිසුරුවරිය මෙලෙස සිය අප්‍රසාදය පළ කළාය.
එම සාක්ෂිකරු දැඩි ලෙස රෝගාතුරව සිටියදීත් නඩුවේ වැදගත්කම සලකා මෙන්ම අධිකරණ නියෝගයට ගරු කිරීමක් වශයෙන් අධිකරණය හමුවේ පෙනී සිට ඇති බව පෙන්වා දුන් විනිසුරුවරිය, ඔහුගේ සාක්ෂිය ලබාගැනීමට අවශ්‍ය ලේඛන රැගෙන නොපැමිණීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ලක් බව අවධාරණය කළාය.
වගකිවයුතු දෙපාර්තමේන්තුවක් මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව සඳහන් කළ විනිසුරුවරිය, “පොල් ගෙඩියක් හොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවක් ලෙස සුළු කොට සලකාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන්නේ?” යනුවෙන් ද ප්‍රශ්න කළාය.
අදාළ කරුණු සම්බන්ධයෙන් CID නිලධාරියාට දැඩි අවවාද කළ විනිසුරුවරිය, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි 25 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළාය.
