
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති සංශෝධන කාරක සභා අවස්ථාවේදී සම්මත කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය ප්‍රකාශයට පත් කරමිනි.
එහිදී පනත් කෙටුම්පතේ 26(2) වගන්තියට ‘එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත’ යන වචන ඇතුළත් කරමින් සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබේ. ඒ අනුව, සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවක් පවතින්නේ නම්, අදාළ විමර්ශනය භාර පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත මහේස්ත්රාත්වරයාට ලිඛිතව හේතු දක්වමින් පැය 24ක් නොඉක්මවන අමතර කාලයක් සඳහා සැකකරු රඳවා තැබීමට අවසර ලබාදිය හැකි වන පරිදි එම වගන්තිය සංශෝධනය විය යුතුය.
එමෙන්ම, ඵලදායී අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා 59(5)(ආ) වගන්තියේ සඳහන් ‘අභියාචනාධිකරණය’ යන වචනය වෙනුවට ‘ශ්‍රේෂ්ඨාධිකරණය’ යන වචනය ආදේශ කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
තවද, පනත් කෙටුම්පතේ 60(7) වගන්තිය අනවශ්‍ය ප්රතිපාදනයක් බැවින් එය ඉවත් කළ යුතු බවට ද නිර්දේශ කර තිබේ.
ඊට අමතරව, 66(1) වගන්තිය සංශෝධනය කරමින් මෙම පනත යටතේ නිකුත් කරන ලද හෝ නිකුත් කරනු ලබන විධායක නියෝගයක්, මෙහෙයුම් විධානයක් හෝ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 හෝ 141 ව්‍යවස්ථා යටතේ පවරනු ලබන නඩු කටයුතුවලදී අභියෝගයට ලක් කළ හැකි බවට ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මෙම සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමෙන් පසුව පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයක් ප්‍රමාණවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
