පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්; තීන්දුව ළඟදීම!


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ප්‍රධාන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඊයේ (11) රාත්‍රියෙන් නිමාවට පත්විය. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් හා සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග කෙරේ. වසර 5කට ආසන්න කාලයක් පුරා දින 245ක් පමණ දීර්ඝ වශයෙන් විභාග වූ පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් පසු, ඉදිරියේදී විත්තියේ සාක්ෂි විමසීම සහ දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම කරනු ඇත.

පාස්කු ප්‍රහාරයට අදාළව මේ දක්වා නඩු 31ක් පවරා ඇති අතර, ඉන් නඩු 5ක් ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වේ. මින් නඩු 3ක තීන්දු මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇත. ලබා දී ඇති තොරතුරු වලට අනුව, නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදී රාජකාරිය පැහැර හැරීමේ චෝදනා 854කට වරදකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරන ලද ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවෙන් ඔවුන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වී තිබේ. මීට අමතරව මාවනැල්ලේ බුද්ධ හා දේව ප්‍රතිමා 7කට අලාභහානි කිරීමේ සිද්ධියට අදාළව සබරගමුව පළාත් ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් විත්තිකරුවන් 11 දෙනෙකුටද දඬුවම් නියම කර ඇත.

පුත්තලම, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරක් සහ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යෑමේ නඩුව මෙන්ම මෙම ප්‍රධාන නඩුව ද මේ වන විට කඩිනමින් විභාග වෙමින් පවතී. කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පුත්තලම නඩුවද පසුගිය මාස 2ක පමණ සිට කොළඹ මහාධිකරණය වෙත ගෙනැවිත් ඇත. අලුත්කඩේ පැරැණි මහේස්ත්‍රාත් උසාවි සංකීර්ණයේ නව ගොඩනැඟිල්ලට ගෙන යෑමෙන් පසු මෙම මහ නඩුව අධිකරණ නිවාඩු කාලයේදී පවා දිනපතා රාත්‍රී 10.00 පමණ වන තෙක් අඛණ්ඩව විභාග කර තිබේ.

මෙම සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් ලබාදුන් පාපොච්චාරණ කිහිපයක් ස්වේච්ඡාවෙන් සිදුකළ ඒවා බව සත්‍යතා පරීක්ෂණයේදී තහවුරු වී ඇත. එමෙන්ම සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයෙකු රජයේ සාක්ෂිකරුවෙකු වෙමින් නඩු විභාගයේදී වැදගත් කරුණු රැසක්ම අනාවරණය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, සහ අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි, අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ කණ්ඩායමක් විසින් මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවනු ලබයි. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නම් වසර 10කට වඩා වැඩි කාලයක් ගතවීමට ඉඩ තිබූ මෙම නඩුව, මුල් කාලයේ මසකට වරක් ද, පසුව සතියට දින කිහිපයක් ද වශයෙන් විභාග වී පසුගිය වසරේ සිට දිනපතාම විභාගයට ගැනීම හේතුවෙන් මේ වන විට තීරණාත්මක අවසානයක් කරා එළඹ ඇත.

මුලාශ්‍ර දිනමිණ

Social Sharing
නවතම පුවත්