
මෙරට ඉඩම් පරිපාලන පද්ධතිය වඩාත් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවකදී අවධාරණය කර තිබේ.
පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මෙහිදී රටේ ඉඩම් ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතනවල කාර්යභාරය, ඒවා මුහුණ දෙන ගැටලු සහ ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු වී තිබේ.
රජයේ ඉඩම් අවභාවිතය සහ ව්‍යාජ ඔප්පු මගින් සිදුවන ඉඩම් වංචා අවම කිරීම සඳහා සියලු ඉඩම් දත්ත ඒකාබද්ධ ඩිජිටල් පද්ධතියක් ඔස්සේ ජාලගත කිරීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කර ඇත.
රජයේ ඉඩම්වල අයිතිය, සීමා නිර්ණය සහ අනෙකුත් අදාළ තොරතුරු එක් දත්ත පද්ධතියක් යටතේ පවත්වාගෙන යාම මගින් ඉඩම් පරිපාලනය වඩාත් විධිමත් කළ හැකි බව නිලධාරීන් පෙන්වා දී තිබේ.
එමෙන්ම GPS ඛණ්ඩාංක මත පදනම් වූ ජාතික ඩිජිටල් ඉඩම් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම තුළින් ඉඩම් සම්බන්ධ වංචා සහ අක්‍රමිකතා අවම කිරීමට හැකි වනු ඇති බවද සඳහන් වී ඇත.
මේ අතර, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිය සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන අතර ඉඩම් අයිතිය හා සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින සම්බන්ධීකරණ ගැටලු පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.
ඉඩම් පරිපාලන ක්ෂේත්‍රයට අදාළ නීතිමය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් දත්ත පද්ධති හඳුන්වාදීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මගින් එම ක්ෂේත්‍රයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවිය හැකි බව කාරක සභාව අවධාරණය කර ඇත.
තවද, 2002 අංක 17 දරන මැනුම් පනත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනාවක්ද කාරක සභාවේදී සලකා බලා තිබේ.
ඒ අනුව, බලයලත් මිනින්දෝරුවරුන් විසින් සකස් කරන පෞද්ගලික පිඹුරුපත් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ තැන්පත් කිරීම, එම පිඹුරුපත්වල බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කිරීම සහ මහජනතාවට සහතික කළ පිටපත් ලබා ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් මෙන්ම අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙම රැස්වීමට සහභාගී වී තිබේ.
