
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමේ අරමුණින්, ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ විශේෂිත පොලිස් ඒකකයක් වහාම පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ, මෙරට වැඩිහිටි ප්‍රජාව වර්තමානයේ මුහුණ දෙන නොයෙකුත් සමාජීය හා ආර්ථික අභියෝග හමුවේ ඔවුන් වෙනුවෙන් සෘජු නීතිමය මැදිහත්වීමක අවශ්‍යතාව මතුව ඇති බවයි.
පවත්නා දැඩි උද්ධමනය, ආර්ථික පීඩනය මෙන්ම පවුල්වල සාමාජිකයන් සහ රැකබලා ගන්නන් රැකියා සඳහා විදේශගත වීම වැනි හේතු නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ දෙනෙකු දැඩි අසරණභාවයට පත්ව සිටින බව එම කොමිසම පෙන්වා දෙයි. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් තමන්ගේම නිවෙස්වල වෙසෙන වැඩිහිටියන් මෙන්ම විවිධ වැඩිහිටි නිවාසවල සහ ආයතනවල වෙසෙන පිරිස් ද නොසලකා හැරීම්, හිංසනයන් හා විවිධ අපග්රහණයන්ට ලක්වීමේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබේ.
මෙම බරපතල තත්ත්වයට සාර්ථක හා තිරසාර විසඳුමක් ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හරහා මෙවැනි විශේෂිත ඒකකයක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවත්, එමගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ඔවුන් වෙත කඩිනම් නීතිමය හා සමාජීය ආරක්ෂාවක් සැලසිය හැකි බවත් මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
