
මෙරට දිනකට පියයුරු පිළිකා රෝගීන් තිදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
එම වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගන්නා අතර, වසරකට එම රෝගයෙන් මියයන සංඛ්‍යාව 1,000කට අධික බවයි.
කොළඹ මහ නගර සභාව විසින් සංවිධාන කරන ලද පිළිකා මර්දන වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පිළිකා වර්ගය පියයුරු පිළිකාව බව ද ඔහු පෙන්වා දුන්නේය.
පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීම, නියමිත වේලාවට ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් සම්බන්ධයෙන් නිරන්තර පසු විපරම් සිදු කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය තලගල අවධාරණය කළේය.
යම් රෝග ලක්ෂණයක් මතුවුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු, ප්‍රතිකාර ප්‍රමාද කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම වඩාත් දුෂ්කර වන බව ද සඳහන් කළේය.
පැහැදිලි රෝග ලක්ෂණ තිබියදීත් බොහෝ රෝගීන් සැලකිය යුතු කාලයක් ප්‍රතිකාර ප්‍රමාද කර රෝහල් වෙත පැමිණීම කනගාටුවට කරුණක් බව ද වෛද්‍ය සේනක තලගල වැඩිදුරටත් පැවසීය.
