මහ බැංකු බලපත්‍රය යටතේ ක්‍රියාත්මක පෞද්ගලික බැංකු ද තොරතුරු දැනගැනීමේ පනතට යටත් – RTI කොමිසම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකු ද 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ‘රාජ්‍ය බලධාරීන්’ ලෙස සැලකිය හැකි බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව තීන්දු කර තිබේ.

සණස සංවර්ධන බැංකුවේ පාරිභෝගිකයෙකු වන උදාර රණසිංහ මහතා විසින් සිය ණය සඳහා අදාළ පොලී අනුපාතය සමාලෝචනය කළ ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලා ගොනු කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව කොමිසම මෙම තීරණයට එළඹ ඇත.

අදාළ පාරිභෝගිකයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් බැංකුව 2025 අප්‍රේල් 9 වැනිදා විද්‍යුත් තැපෑල මඟින් පිළිතුරක් ලබා දී තිබිණි. එහෙත් එම පිළිතුර සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ පාරිභෝගිකයා පසුව තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය.

අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ අවස්ථා හතරකදී විද්‍යුත් තැපෑල මඟින් අදාළ තොරතුරු ලබා දී ඇති බවයි. එසේම, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් වන බැවින් තම බැංකුව තොරතුරු දැනගැනීමේ පනතේ ‘රාජ්‍ය බලධාරියා’ යන අර්ථ නිරූපණයට ඇතුළත් නොවන බවට ද බැංකුව තර්ක කර තිබේ.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති දයාරත්න ලංකාපුර මහතා සහ කොමසාරිස්වරුන් වන නීතිඥ කිෂාලි පින්තෝ ජයවර්ධන මහත්මිය හා ඒ. මොහොමඩ් නාහියා මහතා ඉදිරියේ මෙම අභියාචනය විභාග විය.

2026 ඔක්තෝබර් 21 වැනිදා RTC/Appeal/1005/2025 අංකය යටතේ නිකුත් කළ තීන්දුව මඟින් බැංකුවේ එකී තර්කය කොමිසම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව, මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක් ද අදාළ නීතියේ ‘රාජ්‍ය බලධාරියා’ යන ව්‍යවස්ථාපිත අර්ථ නිරූපණයට ඇතුළත් විය හැකි බව කොමිසම පැහැදිලි කර තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ 3(1) වගන්තිය අනුව, එහි 5 වැනි වගන්තියේ සඳහන් සීමාවන්ට යටත්ව, රාජ්‍ය බලධාරියෙකු සතුව හෝ ඔහුගේ පාලනය යටතේ පවතින තොරතුරු ලබා ගැනීමට සෑම පුරවැසියෙකුටම අයිතිය හිමි වේ. එම පනතේ 43 වැනි වගන්තිය මඟින් ‘රාජ්‍ය බලධාරියා’ යන්න නිර්වචනය කර ඇති අතර, එහි (e) ඡේදය යටතේ නියමිත කොන්දේසිවලට යටත්ව ඇතැම් පෞද්ගලික ආයතන ද එම අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබේ.

මෙම තීන්දුව මඟින් පෞද්ගලික බැංකු සමාගම් පනත යටතේ ලියාපදිංචි වී තිබීම පමණක් මත තොරතුරු දැනගැනීමේ පනතේ විෂය පථයෙන් බැහැර කළ නොහැකි බව පැහැදිලි වේ. එමෙන්ම, මහ බැංකු මුදල් මණ්ඩලයේ බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන බැංකුවලට අදාළව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද මෙම තීරණය වැදගත් පැහැදිලි කිරීමක් සපයයි.

Social Sharing
නවතම පුවත්