බන්ධනාගාරගත භික්ෂූන් වහන්සේලාගේ සිවුරු සම්බන්ධයෙන් බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කෙරේ!

බන්ධනාගාරගත කරනු ලබන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු ඉවත් කිරීම සහ බන්ධනාගාරයෙන් නිදහස් කිරීමේදී හෝ බැහැර කිරීමේදී සිවුරු ඇඳීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග සංශෝධනය කර තිබේ.

බන්ධනාගාර ආඥාපනත යටතේ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර මහතා විසින් මෙම නව නියෝග පනවා ඇති අතර, ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය 20 වැනිදා නිකුත් කර ඇත.

නව නිත්‍ය නියෝග අංක 356 අ අනුව, භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරයට ඇතුළත් කළ පසු, උන්වහන්සේ එතෙක් ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් වහාම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතුය.

ඉන් අනතුරුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කළ යුතු අතර, සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න දින 10ක් ඇතුළත බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු වේ.

එම කාලසීමාව තුළ අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නීතිමය විධිවිධාන අනුව අවශ්‍ය පියවර ගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට බලය හිමි වේ.

එසේම, වෙනත් ආගම්වල පූජකවරුන් බන්ධනාගාරගත කරන අවස්ථාවලදී ද අවශ්‍ය වෙනස්කම් සහිතව මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව නියෝගවල සඳහන් වේ.

මේ අතර, බන්ධනාගාරගතව සිටින භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාවකදී, උන්වහන්සේ සිරගත වන විට ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට නිත්‍ය නියෝග අංක 550 යටතේ අවසර හිමි වේ.

කෙසේ වෙතත්, අදාළ භික්ෂූන් වහන්සේ අයත් නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඒ සඳහා අනුමැතිය ලබා දී නොමැති නම්, නියමිත නීතිමය විධිවිධාන අනුව කටයුතු කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා පියවර ගත යුතුය.

අදාළ නිකායේ අනුමැතිය ලබාගැනීම සඳහා, භික්ෂූන් වහන්සේ බන්ධනාගාරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බව ද නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

වෙනත් ආගම්වල පූජකවරුන් බන්ධනාගාරයෙන් බැහැර කරන අවස්ථාවලදී ද මෙම ක්‍රමවේදය අවශ්‍ය වෙනස්කම් සහිතව ක්‍රියාත්මක කළ යුතුය.

(දිනමිණ)

Social Sharing
නවතම පුවත්