මාතර ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රමාදයට එරෙහිව පවුල් දෙකක් සාධාරණය ඉල්ලයි!

මාතර, නාවිමන දකුණ කොට්ඨාසයේ ලියනගේ ලද්දුව නම් ඉඩමේ වසර අටක පමණ කාලයක් තිස්සේ පවුල් දෙකක් පදිංචිව සිටින අතර, එම නිවාස දෙකට ස්ථිර ජල සම්පාදනය සහ ස්ථිර විදුලිය ද ලබාගෙන ඇත. එමෙන්ම, මාතර ප්‍රාදේශීය සභාවට වරිපනම් ද ගෙවනු ලබන බව නිවැසියන් දෙපළ පවසන ලදී.

මෙම ඉඩමේ එක් නිවසක් ලෑලි යොදා සකසා ඇති අතර, අනෙක් නිවස ගඩොල් බිත්ති සහිත නිවසක් වන බවත්, මෙම ඉඩම කුඹුරු ඉඩමක් ලෙස නොපවතින බවට අවශ්‍ය නිර්දේශය ලබා ගැනීම සඳහා අදාළ ලිපි ලේඛන 2026 ජනවාරි මාසයේදී මාතර ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයට ලබා දුන් බවත් නිවැසියන් පවසන ලදී.

2026 සැප්තැම්බර් නව වන දින ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 01/2026 චක්‍රලේඛයේ 9 වන වගන්තියේ උපදෙස් ප්‍රකාරව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරන ලෙස දන්වා මාතර ගොවිජන සේවා සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයට ලිපියක් එවා ඇතත්, ඊට අදාළ සේවාවන් නිසි පරිදි ඉටු කිරීම ප්‍රමාද කර ඇති අතර, එම කටයුතු මඟහරිමින් සිටින බව ද පවසන ලදී. මීට සතියකට පමණ පෙර දිනක නිවස අසලට පැමිණි ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් කිසිදු පරීක්ෂණයක් සිදු නොකර ආපසු ගොස් ඇති බව ද පවසන ලදී.

මේ අනුව, මාතර ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයෙන් ලැබිය යුතු සේවාවන් මෙසේ ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම පවුල් දෙකෙහි ජීවත් වන පුද්ගලයන් මහත් පීඩාවට පත්ව ඇති බව ද පවසන ලදී.

මාතර ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙම සේවාව ප්‍රමාද කිරීම සහ එය මඟහරිමින් සිටීම තුළින් මෙම පවුල් දෙකට මහත් අසාධාරණයක් සිදුව ඇති බවත්, මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සාධාරණ හා කඩිනම් විසඳුමක් බලාපොරොත්තු වන බවත් ඔවුහු පවසන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.

මාතර අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0767170837

එසේත් නැතිනම්,

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100

 

Social Sharing
නවතම පුවත්