හපුගස්තලාව–හල්ගොල්ල මාර්ගයේ ජල ගැටලුව උග්‍ර වෙයි; කොත්මලේ ප්‍රදේශීය සභාවෙන් ලිඛිත දැනුම්දීමක් තිබුණත් විසඳුමක් නැහැ!

කොත්මලේ ප්‍රාදේශීය සභාවට අයත් හල්ගොල්ල වසමේ පිහිටි අංක 461C හපුගස්තලාව–හල්ගොල්ල මාර්ගයේ එක් පසකින් නිරන්තරයෙන් වැසි ජලය ගලා යාම හේතුවෙන් මාර්ගය අබලන් වීමේ අවදානමක් මතුව ඇති අතර, මාර්ගයට පහළින් පිහිටි ඉඩම් ජලයෙන් යටවීමේ සහ හානිවීමේ ගැටලුවක් ද මතුව තිබේ.

මෙම මාර්ගයේ එක් පසක කාණු පද්ධතියක් සකස් කර ඇති නමුත් අනෙක් පස කාණු පද්ධතියක් නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. බෑවුම් සහිත මාර්ගයක් වන මෙහි වැසි කාලයේදී මාර්ගය මතින් ගලා යන ජලය කාණු පද්ධතියක් නොමැති පැත්තෙන් පහළ ඉඩම් වෙත ගලා බසින බව වාර්තා වේ.

එම තත්ත්වය හේතුවෙන් මාර්ගයට පහළින් පිහිටි එක් ඉඩමක් දැඩි ලෙස ජලයෙන් සේදී පාළුවට ලක්ව ඇති බවත්, එහි පිහිටි නිවසට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බවත් එම ඉඩමේ හිමිකරු පවසයි.

හපුගස්තලාව–හල්ගොල්ල මාර්ගයේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් කොත්මලේ ප්‍රාදේශීය සභාව වෙත ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුව මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ. ඒ අනුව සිදුකළ විමර්ශනයෙන් පසු, මෙම ගැටලුවට විසඳුමක් ලෙස මාර්ගයේ Hump (හම්ප්) එකක් යොදා වැඩි ජලය මාර්ගයේ අනෙක් පසට යොමු කිරීමට කටයුතු කරන බව කොත්මලේ ප්‍රාදේශීය සභාව විසින් ලිඛිතව දැනුම් දී ඇති බව ඉඩම් හිමියා සඳහන් කරයි.

කෙසේ වෙතත්, එම දැනුම්දීම සිදු කර තිබුණ ද මේ වන විටත් ගැටලුවට විසඳුමක් ලැබී නොමැති බව ඔහු පවසයි.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ගය මතින් නිරන්තරයෙන් ජලය ගලා යාම නිසා මාර්ගය තවදුරටත් අබලන් වීමේ අවදානමක් පවතින අතර, එම තත්ත්වය ගමනාගමනයට ද දැඩි බාධාවක් වී තිබේ. එසේම, මාර්ගයෙන් ගලා බසින ජලය වැඩි වශයෙන් එක් ඉඩමකට යොමු වීම හේතුවෙන් එම ඉඩමට හා එහි පිහිටි නිවසට හානිදායක තත්ත්වයක් මතුව ඇති බව ද ඉඩම් හිමියා අවධාරණය කරයි.

මෙම තත්ත්වය හමුවේ හපුගස්තලාව–හල්ගොල්ල මාර්ගයේ පවතින ගැටලුව පිළිබඳව කඩිනම් අවධානය යොමු කර, මාර්ගයට සිදුවන හානි අවම කිරීමත්, පහළ ඉඩම් සහ නිවාසවල ආරක්ෂාව තහවුරු කිරීමත් සඳහා අවශ්‍ය විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස ඉඩම් හිමියා කොත්මලේ ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.

මාතර අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0768182355

එසේත් නැතිනම්,

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100

Social Sharing
නවතම පුවත්