
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයේ පළමු වසර තුළ, අමාත්‍යංශ වලට අදාළව කරන ලද දෙපාර්තමේන්තු විෂයපථ වෙනස්වීම්, මාරුවීම්, පසුගිය ජනාධිපතිවරුන් දෙදෙනාගේ පළමු වසරවලට සාපේක්ෂව 75%කින් පමණ (පස් ගුණයකින් පමණ) අඩුවී ඇති බව ලංකා දත්ත පදනම (Lanka Data Foundation) නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
ලංකා දත්ත පදනම විසින් 2019 වසරේ සිට නිකුත් කරන ලද සියලුම රාජ්‍ය ගැසට් පත්‍ර ඇසුරින් සකස් කරන ලද ‘දෙපාර්තමේන්තු ප්‍රවාහ’ අන්තර්ක්‍රියාකාරී සැන්කි (Sankey) දෘශ්‍ය විශ්ලේෂණය මගින් මෙම දත්ත තහවුරු කර ඇත.
ලංකා දත්ත පදනමේ දත්තවලට අනුව, එක් එක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමෙන් (මහ මැතිවරණයකින් හෝ පාර්ලිමේන්තු තේරී පත්වීමෙන්) පසු ගත වූ පළමු වසර සලකා බැලීමේදී අමාත්‍ය මාරුවීම්වල පැහැදිලි වෙනසක් දක්නට ලැබේ.
අනුර කුමාර දිසානායක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයේ පළමු වසර (2024 නොවැම්බර් 25 සිට 2025 නොවැම්බර් 25 දක්වා) තුළ අමාත්‍ය විෂය පථයන්හි සිදු වූ වෙනස්කම් ඉතා අවම මට්ටමක පැවත ඇති අතර, එහිදී වෙනස්කම්වලට භාජනය වී ඇත්තේ දෙපාර්තමේන්තු 37ක් පමණි. එම දෙපාර්තමේන්තු 37ම අදාළ කාල සීමාව තුළ මාරු වී ඇත්තේ එක් වතාවක් බැවින් සමස්ත අමාත්‍ය මාරුවීම් වාර ගණන ද 37කට සීමා විය. මෙම කාල පරිච්ඡේදය තුළ සිදුව ඇති විශාලතම විෂය පථ වෙනස ලෙස වාර්තා වන්නේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා යටතේ පැවැති දෙපාර්තමේන්තු 19ක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා යටතට මාරු කිරීමයි.
ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූර කාලයේ පළමු වසර (2020 අගෝස්තු 13 සිට 2021 අගෝස්තු 13 දක්වා) තුළ දෙපාර්තමේන්තු 465ක් අතුරින් දෙපාර්තමේන්තු 90ක අමාත්‍යවරයා අවම වශයෙන් එක් වරක් හෝ වෙනස් වී ඇති අතර, සමස්තයක් ලෙස වතාවන් 179ක අමාත්‍ය මාරුවීම් සිදුව ඇත. එහිදී බහු-මාරුවීම් රැසක් ද වාර්තා වූ අතර, දෙපාර්තමේන්තු 40ක් අමාත්‍යවරුන් තිදෙනෙකු යටතට (දෙවරක් මාරු වීම්) සහ තවත් දෙපාර්තමේන්තු 3ක් අමාත්‍යවරුන් සිව්දෙනෙකු යටතට (තෙවරක් මාරු වීම්) පත් කර තිබේ. තවද, මෙම කාල සීමාව තුළ සිදු වූ විශාලතම විෂය පථ වෙනස ලෙස සටහන් වන්නේ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවති දෙපාර්තමේන්තු 18ක් වෙනත් අමාත්‍යාංශ යටතට පත් කිරීමයි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලයේ පළමු වසර (2022 ජූලි 26 සිට 2023 ජූලි 26 දක්වා) තුළ නිරීක්ෂණය කරන ලද දෙපාර්තමේන්තු 457 අතුරින් දෙපාර්තමේන්තු 91ක අමාත්‍යවරයා වෙනස් වී ඇති අතර, සමස්තයක් ලෙස වතාවන් 156ක අමාත්‍ය මාරුවීම් සිදුව තිබේ. එහිදී දෙපාර්තමේන්තු 31ක් දෙවරක් ද, තවත් 1ක් තෙවරක් ද අමාත්‍යවරුන් අතර මාරු වෙමින් බහු-මාරුවීම් සටහන් විය. තවද, මෙම කාල පරිච්ඡේදය තුළ සිදු වූ විශාලතම විෂය පථ වෙනස ලෙස වාර්තා වන්නේ 2022 ඔක්තෝබර් මාසයේදී කර්මාන්ත අමාත්‍යවරයා යටතේ පැවති දෙපාර්තමේන්තු 22ක් ඉවත් කර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන සහ ප්‍රාථමික කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍යාංශ දෙක යටතට මාරු කිරීමයි.
උපුටා ගැනීම What News
