
දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් රුපියල් කෝටි 2කට ආසන්න ප්‍රමාණයක් වංචා කර ඇති බව විගණන විමර්ශනයකදී අනාවරණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අංශයේ සේවය කළ නිලධාරිනියන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නවතම විගණන වාර්තාව අනුව තවත් නිලධාරීන් තිදෙනෙකු ද මෙම වංචාවට සම්බන්ධ බව අනාවරණය වී ඇත.
ඒ අනුව, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් ඊයේ (06) හැටන් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා තිබේ.
මෙම වංචාව පිළිබඳ විමර්ශන ආරම්භ වී ඇත්තේ අස්වැසුම ප්‍රතිලාභීන් කිහිප දෙනෙකුට තමන්ට හිමි දීමනා නොලැබුණු බවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ලැබුණු නිර්නාමික පැමිණිල්ලක් මතය. ඒ අනුව සැකකාර නිලධාරිනියන් දෙදෙනා පළමුව වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කර යවා ඇති අතර, පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
2023 සිට 2025 දක්වා කාලය ආවරණය වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයේ විගණන නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිදු කළ විගණන පරීක්ෂණයකදී මෙම වංචාව අනාවරණය වී තිබේ. එම කණ්ඩායම තවදුරටත් ප්‍රකාශ සටහන් කරමින් සහ ලේඛන පරීක්ෂා කරමින් විමර්ශන පවත්වාගෙන යයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ප්‍රතිලාභීන්ට හිමි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර නොකර සැකකරුවන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර ඇති බවයි. අනතුරුව එම මුදල් පෞද්ගලික ණය ලෙස ලබාදී, පොලී රහිතව වාරික වශයෙන් නැවත අයකරගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
එමෙන්ම අස්වැසුම දීමනාව නොලැබුණු බවට විමසීමට කාර්යාලයට පැමිණි ප්‍රතිලාභීන්ට “මුදල් ලැබුණාම ගිණුමට බැර කරනවා, නැවත කාර්යාලයට එන්න එපා” යැයි පවසා තර්ජනය කළ බවට ද සාක්ෂි ලැබී ඇත.
මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක අස්වැසුම, සමෘද්ධි, දිට්වා සහනාධාර, කොරෝනා සමයේ රුපියල් 5,000 දීමනාව ඇතුළු රාජ්‍ය ප්රතිලාභ ගෙවීම් නිසි පරිදි සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා පුළුල් විගණන පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කර ඇත.
