පාසල් දැරිය පැහැරගෙන ගොස් අපයෝජනය කළ පුද්ගලයාට වසර 18කට පසු වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

වසර 18කට පෙර 14 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන ගොස් අපයෝජන කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට රත්නපුර මහාධිකරණය අද (07) තීරණය කළේය.

මෙම නඩුව විභාග කළ රත්නපුර මහාධිකරණ විනිසුරු කේ.ඩී.වී.එන්.වී. ලංකාපුර මහත්මිය විත්තිකරුට සිරදඬුවමට අමතරව රුපියල් 50,000ක දඩ මුදලක් නියම කළ අතර, වින්දිතියට රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියෝග කළාය.

නඩුවේ පළමු චෝදනාව වූ දැරිය පැහැරගෙන යාම සම්බන්ධයෙන් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් නියම කළ අතර, දෙවන චෝදනාව වූ අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ තවත් රුපියල් 25,000ක දඩයක් නියම කර ඇත.

විත්තිකරු දඩ මුදල් නොගෙවන්නේ නම් එක් එක් දඩයට මාස හයක ලිහිල් සිරදඬුවමක්ද, වින්දිතියට නියම කළ රුපියල් ලක්ෂ 5ක වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 24ක ලිහිල් සිරදඬුවමක්ද නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විවාහකයකු වන හල්පාවල සුදුමැණිකෙලාගේ ජයන්ත තිලාල් නමැත්තාටය.

පැමිණිල්ලට අනුව, 2008 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට 31 වැනිදා අතර කාලයේදී එවකට 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක වූ වින්දිතිය බළන්ගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් අපයෝජනය කර ඇති බවට විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

Social Sharing
නවතම පුවත්