
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙකක් තුළ පැය කිහිපයක පරතරයකින් ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. මේ අන්දමින් මැගසින් බන්ධනාගාරයේ හා කුරුවිට බන්ධනාගාරයේ කලහකාරී තත්වයක් හට ගෙන තිබේ.
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ නව මැගසින් බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, රැඳවියන් පිරිසක් නොසන්සුන් ලෙස හැසිරීමත් සමඟ බන්ධනාගාර නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහාය ඇතිව තත්ත්වය පාලනය කළ බවයි.
තුවාල ලැබූ රැඳවියන් 11 දෙනා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතර, සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවා තිබේ. සිද්ධියෙන් අනතුරුව බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිසිය, STF සහ සන්නද්ධ හමුදා ද යොදවා ඇත.
මේ අතර, අද (07) උදෑසන කුරුවිට බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව කුරුවිට පොලිසිය පවසයි.
උදෑසන ඇති වූ මෙම ගැටුමෙන් මුලින් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම් දෙකම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරමින් පවතී.
ඒ අනුව ඉකුත් ජුලි මස මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ඇරඹුණු මෙම කලහකාරී ගැටුම් සිදුවීම් පසුව මහර බන්ධනාගාර තුළටත් පසුව ඊයේ දිනය වන විට මැගසින් හා කුරුවිට බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වීම කණගාටුදායක තත්වයකි.
