
වත්මන් රජයේ රාජ්‍ය මූල්‍ය විනය සහ පරිපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම වසරේ මුල් මාස අට තුළ රාජ්‍ය ආයතන 51ක සමස්ත ලාභය රුපියල් බිලියන 367 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
2025 වසරේ මුල් මාස අට තුළ එම රාජ්‍ය ආයතන 51 වාර්තා කළ ලාභය රුපියල් බිලියන 307ක් වූ අතර, ඒ අනුව මෙම වසරේ එම කාලසීමාව තුළ ලාභය රුපියල් බිලියන 60කින් ඉහළ ගොස් තිබේ.
2027 වසර සඳහා වන අයවැය විවාදයට ඊයේ (19) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක පැවති සහ ඇතැම් අවස්ථාවලදී විකිණීමට තීරණය කර තිබූ රාජ්‍ය ආයතන මෙලෙස ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට වත්මන් රජයට හැකි වූ බවද ඔහු පැවසීය.
එම ආයතනවල පරිපාලන හා කළමනාකරණ ක්‍රමවේද වෙනස් කිරීම, නාස්තිකාර වියදම් අවම කිරීම සහ රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කිරීම තුළින් මෙම ප්‍රගතිය අත්කර ගැනීමට හැකි වූ බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බදු ආදායම් එකතු කිරීම සඳහා රුපියල් බිලියන 3,175ක ඉලක්කයක් ලබාදී තිබුණද, රජයට බදු ආදායම රුපියල් බිලියන 4,252 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කළේය.
රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතන ආර්ථිකයේ හදවත බඳු ආයතන බව පෙන්වා දුන් ඇමැතිවරයා, එම ආයතන ශක්තිමත් කිරීම තුළින් රටේ ආර්ථික ක්‍රියාවලියට නව ජීවයක් ලබාදීමට හැකි වූ බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් සියයට 95ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවත්, කෙටි කාලයක් තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට වත්මන් රජයට හැකි වූ බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
