කොබෙයිගනේ පොලිස් භාරයේදී සැකකරුවෙකු මියයෑම සිද්ධියට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය සැකකරුවෙකුගේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදී තිබුණි.

ඒ අනුව දින දෙකක කාලයක් පොලිස් අත්අඩංගුවේ පසුවූ ඔහු ඔක්තෝබර් 27 වැනිදා රාත්‍රියේ නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙම මරණයත් සමඟ සැකකරු අල්ලා පොලිසියට භාරදුන් ප්‍රදේශවාසීන් පස්දෙනෙකු ද කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් ප්‍රදේශවාසීන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ සැකකරු අල්ලා ගසක බැඳ තැබීමෙන් පැයක් ගතවීමටත් පෙර පොලිසිය දැනුවත් කර, ඔහු නිරුපද්‍රිතව පොලිසියට භාරදුන් බවයි.

සැකකරුට කිසියම් පහරදීමක් සිදුව තිබුණේ නම්, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා මරණයට පත්වීමට පෙර රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බව ද ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර, අත්අඩංගුවට ගත් ප්‍රදේශවාසීන් පස්දෙනා මෙතෙක් නිදහස් කර නොමැති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Social Sharing
නවතම පුවත්