භික්ෂූන් වහන්සේලා සම්බන්ධ බන්ධනාගාර නීති සංශෝධනයට පස්දෙනකුගෙන් යුත් කමිටුවක්!

භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාම සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පස්දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ඊයේ (08) මෙම කමිටුව පත් කර ඇති අතර, බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, ආරක්ෂාව, යහපාලනය, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම එහි වගකීම වේ.

ජනාධිපතිවරයා සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එළැඹි තීරණයකට අනුව මෙම කමිටුව පත් කර තිබේ. එහිදී සති දෙකක් ඇතුළත අදාළ නීති රෙගුලාසි අධ්‍යයනය කර සංශෝධන යෝජනා ඉදිරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් දී ඇත.

කමිටුවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මතුවූ සමාජ කතාබහ සහ මහනායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපිය ද මෙම සාකච්ඡාවට පදනම් වී තිබිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ, දැනට ක්‍රියාත්මක බන්ධනාගාර නීති පද්ධතිය ප්‍රධාන වශයෙන් පොදු සිරකරුවන් පිළිබඳව අවධානය යොමු කර සකස් කර ඇති බවයි. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් වන්නේ රෙගුලාසි කිහිපයක් පමණක් බැවින් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එම නීති සංශෝධනය කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

1877 වසරේ සම්මත කරන ලද බන්ධනාගාර ආඥා පනත සහ ඒ යටතේ පනවා ඇති රෙගුලාසි හා නිත්‍ය නියෝග අනුව බන්ධනාගාර පද්ධතිය පාලනය වන බව පැවසූ ජනාධිපතිවරයා, නීති වර්තමානයට නොගැළපේ නම් ඒවා නිසි ක්‍රමවේදයට අනුව සංශෝධනය කළ යුතු බව අවධාරණය කළේය.

පවතින නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී තනි පුද්ගලයන් වෙනුවෙන් විශේෂ නියෝග නිකුත් කිරීමට තමන් සූදානම් නොමැති බවත්, නීතියට අනුකූල නොවන ආකාරයෙන් තම පෞද්ගලික කැමැත්ත නීතිය බවට පත් නොකළ යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බන්ධනාගාරය තුළ රඳවා තැබීමේදී පමණක් නොව, අධිකරණ කටයුතු ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා රැඳවියන් බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන සෑම අවස්ථාවකදීම අදාළ කරුණු සැලකිල්ලට ගත යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර ඇත්තේ දැනට පවතින නීති හා රෙගුලාසි අනුව බැවින් ඔවුන්ට දෝෂාරෝපණය කිරීම වෙනුවට, පද්ධතියට අදාළ නීති සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අදාළ සංශෝධන සකස් කිරීමේදී භික්ෂූන් වහන්සේලාට බලපාන කරුණු සම්බන්ධයෙන් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

බන්ධනාගාර ආඥා පනත යටතේ පනවා ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කර වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවලට අනුකූලව යාවත්කාලීන කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වේ.

Social Sharing
නවතම පුවත්