
ඔස්ට්රේලියානු රජය විසින් ශිෂ්ය වීසා වැඩසටහනට හඳුන්වා දුන් සැලකිය යුතු නීති සංශෝධන ඔක්තෝබර් 2 වැනිදා සිට ක්රියාත්මක කර තිබේ.
ඒ අනුව, එම දිනයෙන් පසු ඉදිරිපත් කරන ශිෂ්ය වීසා අයදුම්පත් සඳහා නව නීති අදාළ වන අතර, ඔස්ට්රේලියාව තුළ රැඳී සිටිමින් නැවත ශිෂ්ය වීසා සඳහා අයදුම් කිරීමේ අවස්ථා සැලකිය යුතු ලෙස සීමා කර ඇත.
නව ප්රතිසංස්කරණවල ප්රධාන අරමුණක් වී ඇත්තේ, විදේශිකයන් විසින් ශිෂ්ය වීසා භාවිත කරමින් ඔස්ට්රේලියාවේ තාවකාලික රැඳී සිටීමේ කාලය නැවත නැවත දීර්ඝ කර ගැනීමේ ප්රවණතාව සීමා කිරීමයි.
ඔස්ට්රේලියාව තුළ සිට නව ශිෂ්ය වීසා අයදුම් කිරීම සීමා කරයි
නව නීති යටතේ, දැනට ශිෂ්ය වීසා මත ඔස්ට්රේලියාවේ රැඳී සිටින පුද්ගලයෙකුට තවත් ශිෂ්ය වීසා සඳහා ප්රධාන අයදුම්කරු ලෙස අයදුම් කිරීමට අවශ්ය නම්, අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේ ඔහු හෝ ඇය ඔස්ට්රේලියාවෙන් පිටත සිටිය යුතුය.
එමෙන්ම, එවැනි වීසා අයදුම්පතක් සඳහා වීසා අනුමත කරන අවස්ථාවේදී ද අදාළ පුද්ගලයා ඔස්ට්රේලියාවෙන් පිටත සිටිය යුතු බව නව නීති මගින් නියම කර තිබේ.
මීට පෙර, එක් පාඨමාලාවක් අවසන් කිරීමට ආසන්න ශිෂ්යයන්ට ඔස්ට්රේලියාව තුළ සිටම තවත් අධ්යයන කටයුතු සඳහා නව ශිෂ්ය වීසා අයදුම් කිරීමට හැකියාව තිබිණි.
තවත් තාවකාලික වීසා කාණ්ඩ රැසකටත් බලපෑම්
නව නීති මගින් ඔස්ට්රේලියාවේ සිට ශිෂ්ය වීසා සඳහා අයදුම් කළ නොහැකි වීසා කාණ්ඩවල ලැයිස්තුව ද පුළුල් කර තිබේ.
ඒ අනුව Skills in Demand (Subclass 482), Working Holiday (Subclass 417), Work and Holiday (Subclass 462), Training (Subclass 407) සහ Temporary Activity (Subclass 408) ඇතුළු තාවකාලික වීසා දරන පුද්ගලයන්ට ද බොහෝ අවස්ථාවල ශිෂ්ය වීසා සඳහා අයදුම් කිරීමට ඔස්ට්රේලියාවෙන් පිටතට යාමට සිදුවනු ඇත.
PhD සිසුන් ඇතුළු ඇතැම් පිරිස් සඳහා ව්යතිරේක
කෙසේ වෙතත්, නව සීමා සියලුම ශිෂ්යයන්ට එකසේ අදාළ නොවේ.
ආචාර්ය උපාධි (PhD) හදාරන සිසුන්ට තවදුරටත් ඔස්ට්රේලියාව තුළ සිට නව ශිෂ්ය වීසා සඳහා අයදුම් කිරීමට අවස්ථාව පවතී.
එමෙන්ම අධ්යාපන ආයතනයක් වසා දැමීම හෝ එහි ලියාපදිංචිය අහිමි වීම වැනි provider default තත්ත්වයන්ට මුහුණ දෙන සිසුන් සඳහා ද විශේෂ විධිවිධාන පවතී.
අධ්යයන කටයුතු සම්පූර්ණ කිරීමට අමතර කාලයක් අවශ්ය වීම හෝ අනුමත අධ්යයන ප්රගති මාර්ගයක් යටතේ ඉදිරියට යාම වැනි ඇතැම් විශේෂ තත්ත්වයන්ට අදාළ සිසුන්ට ද ව්යතිරේක හිමි විය හැකිය.
පවුලේ සාමාජිකයන් රැගෙන ඒමටත් නව සීමා
ශිෂ්ය වීසා දරන්නන් සමඟ පවුලේ සාමාජිකයන් ඔස්ට්රේලියාවට රැගෙන ඒම සම්බන්ධයෙන් ද නව නීති හඳුන්වා දී තිබේ.
නව නීති යටතේ, සුදුසුකම් ලබන පවුලේ සාමාජිකයන් ශිෂ්ය වීසා අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදීම එයට ඇතුළත් කළ යුතුය.
ඒ අනුව, ශිෂ්යයා පළමුව ඔස්ට්රේලියාවට ගොස් පසුව තම සහකරු හෝ දරුවන් වෙනම subsequent entrant අයදුම්පතක් හරහා ගෙන්වා ගැනීමේ පෙර පැවති අවස්ථාව බොහෝ දුරට සීමා කර ඇත.
කෙසේ වෙතත්, PhD සිසුන්ගේ පවුලේ සාමාජිකයන්, විදේශීය රජයේ ශිෂ්යත්වලාභීන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඇතැම් විශේෂ තත්ත්වයන්ට අදාළ පවුල් සඳහා ව්යතිරේක තවදුරටත් පවතී.
වීසා අවසන් වූ පසු දින 28ක සහන කාලයත් සීමා වෙයි
මීට පෙර ශිෂ්ය වීසා බලපත්රය අවසන් වූ පසු දින 28ක් ඇතුළත නව ශිෂ්ය වීසා සඳහා අයදුම් කිරීමට ඇතැම් පුද්ගලයන්ට තිබූ අවස්ථාව ද නව ප්රතිසංස්කරණ මගින් සීමා කර තිබේ.
ඒ අනුව, ශිෂ්ය වීසා අවසන් වී ඇති සහ වෙනත් වලංගු වීසා බලපත්රයක් නොමැති පුද්ගලයන්ට සාමාන්යයෙන් නව ශිෂ්ය වීසා සඳහා අයදුම් කළ හැක්කේ ඔස්ට්රේලියාවෙන් පිටත සිට පමණි.
කෙසේ වෙතත්, නීතියෙන් නිශ්චිතව දක්වා ඇති විශේෂ ව්යතිරේකවලට අයත් පුද්ගලයන් සඳහා ඔස්ට්රේලියාව තුළ සිට අයදුම් කිරීමේ අවස්ථාව තවදුරටත් පැවතිය හැකිය.
නව නීති හේතුවෙන් ඔස්ට්රේලියාවේ දැනට අධ්යාපනය ලබන ශිෂ්යයන් මෙන්ම ඉදිරියේදී ඔස්ට්රේලියාවේ අධ්යයනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන් ද වීසා අයදුම් කිරීමට පෙර තමන්ගේ වීසා තත්ත්වය, අයදුම් කළ හැකි ස්ථානය සහ පවුලේ සාමාජිකයන් සම්බන්ධ සුදුසුකම් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ.
