පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22දා

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) නියම කළේය.

නඩුවේ විත්තියේ දේශන ඊයේ පස්වරු 6.00ට පමණ අවසන් වූ අතර, දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් 08 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ලෙස නවරත්න මාරසිංහ මහතා කටයුතු කරන අතර, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන් සෙසු විනිසුරුවරුන් ලෙස කටයුතු කරති.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම සහ දේශන ඉකුත් 13 වැනිදා පස්වරුවේ අවසන් කර තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

නඩු විභාගයේදී චූදිතයන්ගේ පාපොච්චාරණ 10ක් සාක්ෂි ලෙස පිළිගෙන ඇති අතර, සඟවා තිබූ බෝම්බ, පුපුරන ද්‍රව්‍ය, කඩු, ගිනි අවි සහ බෝම්බ නිෂ්පාදනය සඳහා භාවිත කළ රසායනික ද්‍රව්‍ය ඇතුළු නඩු භාණ්ඩ 2,076ක්ද සාක්ෂි ලෙස ලකුණු කර ඇත.

එමෙන්ම රජයේ රස පරීක්ෂක වාර්තා, DNA වාර්තා, වෛද්‍ය වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඇතුළු විශාල සාක්ෂි ප්‍රමාණයක්ද නඩු විභාගයේදී ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, වසර ගණනාවක් පුරා විභාග වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්