
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාගරට් සැටර්ත්වේට් සිය කනස්සල්ල පළ කර තිබේ.
අගෝස්තු 7 වැනිදා ශ්‍රී ලංකා රජය වෙත යොමු කළ නිල ලිපියකින් ඇය පෙන්වාදී ඇත්තේ, යෝජිත සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය සහ සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය සම්බන්ධ ජාත්‍යන්තර මානව හිමිකම් ප්රමිතීන් සමඟ නොගැළපීමේ අවදානමක් පවතින බවයි.
යෝජිත සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
මෙම වෙනස අනාගතයේ පත්වන විනිසුරුවන්ට පමණක් නොව, දැනට සේවයේ නිරත විනිසුරුවන්ටද අදාළ වන පරිදි සකස් කර තිබීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඇය පෙන්වාදී ඇත.
විනිසුරුවන්ගේ දැනුම හා පළපුරුද්ද තවදුරටත් රඳවා ගැනීම වැනි කරුණු මත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සාධාරණීකරණය කළ හැකි වුවද, විධායකය සහ ව්‍යවස්ථාදායකය මගින් අධිකරණයට සිදුවිය හැකි බලපෑම් වැළැක්වීම සඳහා ශක්තිමත් ආරක්ෂණ ක්‍රමවේද සහ පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය බව විශේෂ වාර්තාකාරිනිය අවධාරණය කරයි.
පැහැදිලි සංක්‍රාන්ති විධිවිධාන නොමැතිව මෙම සංශෝධනය ක්‍රියාත්මක කළහොත්, එය සාධාරණ හා සාමාන්‍ය නීතිමය ප්රතිසංස්කරණයකට වඩා යම් පුද්ගලයන් හෝ ආයතනික අරමුණු වෙනුවෙන් අධිකරණයේ සංයුතිය වෙනස් කිරීමට ගන්නා පියවරක් ලෙස මහජනතාවට පෙනී යා හැකි බවද ඇය සඳහන් කර තිබේ.
එමෙන්ම, මෙම සංශෝධනයෙන් ප්රතිලාභ ලබන විනිසුරුවන්ටම ඉදිරියේදී එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදුවුවහොත්, එම තත්ත්වය තුළ පරස්පරතා සහ අවශ්‍යතාවන් අතර ගැටුම් මතුවිය හැකි බවත්, එය අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන විශ්වාසයට බලපෑ හැකි බවත් ඇය පෙන්වාදී ඇත.
ඒ අනුව, ප්‍රමාණවත් සාකච්ඡාවකින් තොරව සිදුකරන හදිසි වෙනස්කම් අධිකරණ ස්වාධීනත්වයට තර්ජනයක් විය හැකි බැවින්, සමස්ත විනිසුරුවන්, නීතිඥ සංගමය, සිවිල් සමාජය සහ විද්වතුන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගනිමින් විනිවිද පෙනෙන හා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඔස්සේ මෙම කටයුතු සිදුකරන ලෙස ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
දැනට සේවයේ නිරත විනිසුරුවන්ටද මෙම සංශෝධනය අදාළ කිරීමට හේතු වූ පදනම පැහැදිලි කරන ලෙසද එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.
