යුද්ධ සමයේ ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින්ට යළි පැමිණීමට කැබිනට් අනුමැතිය

යුධ සමයේදී අනුමත තොටුපොළකින් සහ විධිමත් ගමන් බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගොස්, පසුව ඉන්දියානු රජයේ සරණාගතයින් ලෙස ලියාපදිංචි වූ ශ්‍රී ලාංකිකයින්ට ස්වේච්ඡාවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ආගමන නිශ්කාශන පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) හරහා ස්වේච්ඡාවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට අවශ්‍ය ආගමන නිශ්කාශන පහසුකම් ලබාදීමට කටයුතු කිරීමට නියමිතය.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව, 2006 අගෝස්තු 1 වැනිදාට පෙර අනුමත තොටුපොළකින් සහ විධිමත් ගමන් බලපත්‍රයක් නොමැතිව රටින් පිටව ගොස් ඉන්දියාවේ සිටින පුද්ගලයින්ගේ ශ්‍රී ලාංකික අනන්‍යතාව විදේශ දූත මණ්ඩල හරහා තහවුරු කර ගැනීමෙන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයෙන් නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

එම පුද්ගලයින් මිනීමැරුම්, රාජ්‍ය ද්‍රෝහිත්වය හෝ නීතියෙන් විශේෂයෙන් දඬුවම් නියම කර ඇති වෙනත් වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසු, තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කර ඔවුන්ට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව අනුමත තොටුපොළක් හරහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමට නියමිතය.

එමෙන්ම, 2006 අගෝස්තු 1 වැනිදා සිට 2009 මැයි 19 වැනිදා දක්වා කාලය තුළ අවිධිමත් ලෙස ඉන්දියාවට ගොස් සිටි, අනන්‍යතාව තහවුරු කරගෙන රාජ්‍ය බුද්ධි සේවයේ නිශ්කාශනය ලබා ඇති ශ්‍රී ලාංකිකයින්ටද 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත යටතේ ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව, නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව රටට ඇතුළුවීමට අවස්ථාව සැලසීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

කෙසේ වෙතත්, මිනීමැරුම්, රාජ්‍ය ද්‍රෝහිත්වය හෝ නීතිය යටතේ විශේෂයෙන් දඬුවම් නියම කර ඇති වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින් සිටී නම්, ඔවුන් රටට ඇතුළුවන අවස්ථාවේදී රඳවාගෙන අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීමට පියවර ගනු ඇත.

මෙම යෝජනාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, නීතිපති උපදෙස් අනුව අදාළ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

Social Sharing
නවතම පුවත්