22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් නිවේදනයක්!

පසුගියදා රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

යෝජිත සංශෝධනය මඟින් නඩු විභාග කඩිනම් කර අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරන බව රජය ප්‍රකාශ කර ඇතත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම එම අරමුණු සමඟ සෘජුව සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැහැදිලි නොමැති බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර ඇත්තේ, අධිකරණයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙවැනි සංශෝධනයක් සිදු කිරීමේදී ජනතාවගේ සෘජු අනුමැතිය ලබාගැනීම වැදගත් බවයි.

ඒ අනුව, සියලු විරෝධතා සහ කරුණු නොතකා රජය මෙම සංශෝධනය ඉදිරියට ගෙන යාමට තීරණය කරන්නේ නම්, පනත් කෙටුම්පත ජනමත විචාරණයකදී ජනතාව විසින් තීරණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය සෘජුවම ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බව එම සංගමය සඳහන් කරයි.

එමඟින් මෙම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුවිය හැකි තත්ත්වයක්ද වළක්වා ගත හැකි බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

තවද, උසස් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ පරමාධිපත්‍යය සහ අධිකරණ බලයේ අවසාන භාරකරුවන් වන ජනතාව විසින්ම සෘජු අනුමැතිය ලබාදීම අවශ්‍ය බවද එම සංගමය අවධාරණය කර තිබේ.

මේ අතර, මෙවැනි ස්වභාවයේ ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට පෙර වෙනත් රටවල විනිවිදභාවයෙන් යුත් සහ සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත් දීර්ඝ උපදේශන ක්‍රියාවලීන් සිදුකර ඇති බවද නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එහෙත් ශ්‍රී ලංකාවේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ ප්‍රමාණවත් උපදේශනයක් සිදු නොකිරීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇත.

අර්ථවත් උපදේශන ක්‍රියාවලියකින් තොරව යෝජිත සංශෝධනය අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරියට ගෙන යාම මහජන විශ්වාසය බරපතළ ලෙස හීන කිරීමට හේතුවිය හැකි බවද නීතිඥ සංගමය සඳහන් කරයි.

එමෙන්ම, මෙවැනි ක්‍රියාවලියක් අනාගත රජයන්ට අධිකරණයේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනත්වය තම අභිමතය පරිදි බලපෑමට ලක් කිරීමට උත්සාහ කළ හැකි භයානක පූර්වාදර්ශයක් බවට පත්විය හැකි බවටද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෑත කාලයේදීද අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල වෙන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් වැඩසටහන් සහ ප්‍රකාශ නිකුත් කර ඇත.

 

Social Sharing
නවතම පුවත්