මත්ද්‍රව්‍යවලට යොමු වූවන් වෙනුවෙන් රු. මිලියන 635ක නව විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය!

මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සුළු වැරදි සිදුකරන පුද්ගලයින් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා, රුපියල් මිලියන 635ක ඇස්තමේන්තුගත වියදමකින් නව නේවාසික විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත යටතේ මහේස්ත්‍රාත් සහ සංචාරක අධිකරණ මගින් සුළු වරදකරුවන් වෙත ප්‍රජා පාදක විශෝධන නියෝග නිකුත් කරනු ලබයි. රජය පෙන්වා දෙන්නේ මෙලෙස නියෝග ලබන බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය හෝ මද්‍යසාර භාවිතයට ඇබ්බැහි වූවන් බවයි. ඔවුන්ව ඉන් මුදවා ගනිමින්, සාමාජීය හා ආර්ථික වශයෙන් නඟාසිටුවීම මෙම විශෝධන ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වේ.

කෙසේ වෙතත්, මෙලෙස අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වරදකරුවන්ට අවශ්‍ය නේවාසික ප්‍රතිකාර ලබා දීම සඳහා ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සතුව දැනට ප්‍රමාණවත් පහසුකම් නොමැත. එමෙන්ම එම දෙපාර්තමේන්තුව යටතේ කිසිදු නේවාසික හෝ අනේවාසික විශෝධන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක නොවන බව ද වාර්තා වේ.

මෙම අඩුපාඩුව මඟහරවා ගනිමින් අදාළ නියෝගලාභීන්ට විධිමත් ප්‍රතිකාර ලබා දීමේ අරමුණින්, කැකිරාව ප්‍රදේශයෙන් හඳුනාගත් හෙක්ටයාර 1.33ක භූමි භාගයක් තුළ මෙම නව විශෝධන මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමැතිය ලබා දී ඇත.

Social Sharing
නවතම පුවත්