
ජාතික පොලිස් කොමිෂන් සභාව පවත්වාගෙන යන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ගොඩනැගිලි දෙකක් සඳහා පසුගිය වසරේදී රුපියල් හය කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.
එම වියදම ආර්ථික වශයෙන් ඵලදායී නොවන වියදමක් බවද විගණන වාර්තාවේ පෙන්වා දී තිබේ.
ගොඩනැගිලි සඳහා ගෙවා ඇති මෙම කුලී මුදල කොමිෂන් සභාවේ වාර්ෂික මුළු අයවැය වියදමෙන් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් බවද එහි සඳහන් වේ.
ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භයේ සිටම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමට අයත් ගොඩනැගිල්ලක කුලී පදනම මත පවත්වාගෙන යන බව විගණන කාර්යාලය පවසයි.
ඒ අනුව, 2025 වසර සඳහා වූ ගිවිසුම යටතේ කොමිෂන් සභා කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සහ අනෙක් ගොඩනැගිල්ල සඳහා මාසිකව රුපියල් පනස් හත් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා ඇති බවද වාර්තාවේ දැක්වේ.
මේ අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අරමුණු හා කාර්යයන් ඉටු කිරීමට ප්‍රමාණවත් මානව සම්පත් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 32 දෙනෙකු පසුගිය වසරේදී කොමිෂන් සභාවේ සේවයට යොදවා තිබූ බවද විගණන වාර්තාව අනාවරණය කරයි.
ඒ අනුව, කොමිෂන් සභාවේ කාර්යාල පහසුකම් සඳහා සිදුකරන ඉහළ වියදම් මෙන්ම මානව සම්පත් අවශ්‍යතාව සපුරා ගැනීම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ අවධානය යොමු කර තිබේ.
