බන්ධනාගාරවල මියයන්නේ මිනිසුන් පමණද? සාක්ෂිත් මියයනවාද? – මයුර සේනානායක


ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මෑතකදී සිදුවූ ප්‍රචණ්ඩ ගැටුම් හා වෙඩි තැබීම් හේතුවෙන් ජීවිත 36ක් පමණ අහිමි වී, 160කට අධික පිරිසක් තුවාල ලැබූ බවට වාර්තා වේ.

එක් මිනිසෙකුගේ ජීවිතය අහිමි වීම යනු එක් පවුලක ජීවිත බිඳ වැටීමකි.

එහෙත් මෙහිදී අප ඇසිය යුතු තවත් බරපතළ ප්‍රශ්නයක් තිබේ.

බන්ධනාගාරයක මියයන්නේ මිනිසුන් පමණද?

එම මරණ සමඟ සාක්ෂිත් මියයනවාද?

ශ්‍රී ලංකාවට වැලිකඩ අත්දැකීම තවමත් අමතක වී නැත. එම සිදුවීම පිළිබඳව වසර ගණනාවකට පසුවත් සම්පූර්ණ සත්‍යය සහ වගවීම පිළිබඳ ප්‍රශ්න මතුවීම, මෙවැනි සිදුවීම් පිළිබඳ ජනතා සැකය තවත් වැඩි කරයි.

පසුගිය පාලන සමයන් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල කණ්ඩායම් සහ දේශපාලන බලය අතර සම්බන්ධතා තිබූ බවට විවිධ අවස්ථාවලදී චෝදනා සහ සැකයන් සමාජයේ මතුවී තිබේ.

එවැනි පසුබිමක් තුළ බන්ධනාගාරයක් තුළ මරණ සිදුවන විට, ජනතාව ප්‍රශ්න කිරීම ස්වාභාවිකය.

මෙක්සිකෝව අපට කියා දෙන පාඩම

අයොට්සිනාපා සිද්ධිය මෙක්සිකෝවට පමණක් අදාළ කතාවක් නොවේ.

මත්ද්‍රව්‍ය කාටෙල්, සංවිධානාත්මක අපරාධ සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධතා පිළිබඳ සැකයක් මතුවූ විට, ස්වාධීන පරීක්ෂණයක් සහ සාක්ෂි ආරක්ෂා කිරීම කොතරම් වැදගත්ද යන්න එය ලෝකයට පෙන්වා දුන්නේය.

ප්‍රශ්නය වූයේ,

මිනිසුන්ට සිදුවූයේ කුමක්ද? යන්න පමණක් නොව,

ඇත්තටම සිදුවූයේ කුමක්ද? යන්න සොයා ගැනීමයි.

ශ්‍රී ලංකාවටත් අද අවශ්‍ය වන්නේ එයයි.

කිසිවෙකු පෙර සිටම වැරදිකරුවෙකු ලෙස තීරණය කිරීම නොවේ.

සාක්ෂි තිබේ නම් ඒවා හෙළි කළ යුතුය.

චෝදනා තිබේ නම් ඒවා ස්වාධීනව පරීක්ෂා කළ යුතුය.

සැක තිබේ නම් ඒ සැකය දුරු කළ යුතුය.

තවත් වැදගත් ප්‍රශ්නයක් තිබේ.

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ කෙසේද?

ඒවා ඇතුළට ගෙන ඒමට කිසිදු නිලධාරියෙකුගේ හෝ වෙනත් පාර්ශ්වයක සහායක් තිබේද? තිබේ නම්, ඒ පිළිබඳ වගකීම කාටද?

මත්ද්‍රව්‍ය භාවිතයට හෝ ඇබ්බැහිවීමට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් පුනරුත්ථාපනය සහ ප්‍රතිකාරය ප්‍රමුඛ කර ගැනීමත්,

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමත් අතර වෙනසක් තිබිය යුතුය.

අවසානයේ අප සියලුදෙනාටම එකම නීතියයි.

මුදල් ඇති මිනිසාත්,

මුදල් නැති මිනිසාත්,

බලවත් මිනිසාත්,

බලයක් නැති මිනිසාත්

රාජ්‍යයේ බන්ධනාගාරයකට ඇතුළු වූ පසු ජීවිත ආරක්ෂාවට සමාන අයිතියක් තිබිය යුතුය.

ජීවිතයක් අහිමි වූ පසු එය නැවත ලබාගත නොහැක.

නමුත් සත්‍යය සොයා ගැනීමට තවමත් අවස්ථාව තිබේ.

ඒ නිසා අද ජනතාව අසන ප්‍රශ්නය මෙයයි:

බන්ධනාගාර තුළ මියයන්නේ මිනිසුන් පමණද?

නැතහොත් කිසිදා ඔප්පු කළ නොහැකි වන ලෙස සාක්ෂිත් ඒ සමඟම මියයනවාද?

Social Sharing
අවකාශය පුවත්