
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පිහිටි සමූහ මිනීවළෙන් මේ වනවිට මිනිස් සිරුරු 501කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබේ.
මෙරට සමූහ මිනීවළකින් මිනිස් සිරුරු 500කට අධික ප්‍රමාණයකට අදාළ අස්ථි කොටස් ගොඩගත් පළමු අවස්ථාව මෙය බව යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ මහාචාර්ය පරමු පුෂ්පරත්නම් මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ මීට පෙර ශ්‍රී ලංකාවේ කිසිදු සමූහ මිනීවළකින් මිනිස් සිරුරු 500කට අදාළ අස්ථි කොටස් ගොඩගත් සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු හයවන අදියරේ 46වන දිනය ලෙස ඊයේ (07) ද සිදු කර තිබේ.
යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කැණීම් කටයුතු සිදු කෙරෙන අතර, සමූහ මිනීවළෙන් හමුවන අස්ථි කොටස් සහ අනෙකුත් සාක්ෂි සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.
