සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් අධිකරණයේ බලතල සීමා කරමින් පොලීසියට හා විධායකයට අසීමිත බලතල පැවරීමට යෝජනා කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වී තිබේ.

අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් ගොනුකර තිබෙන පෙත්සම් 26ක් විභාග කිරීම ඊයේ (04) ආරම්භ වූ අතර, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් විභාගයට ගැනිණි.

පෙත්සම්කාර මාලින්ද සෙනවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ පනත් කෙටුම්පතේ ‘බරපතළ අපරාධ’ යන්න නිර්වචනය කර ඇති ආකාරය ඉතා භයානක බවයි.

බුද්ධිමය දේපළ පනත යටතේ සඳහන් වැරදි, වෙළෙඳ ලකුණු සම්බන්ධ වැරදි, සුරාබදු වැරදි සහ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත යටතේ සඳහන් වැරදි පවා බරපතළ අපරාධ ලෙස අර්ථකථනය කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, යෝජිත පනත් කෙටුම්පත යටතේ බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු රඳවා තබා ගැනීම සඳහා පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඉල්ලීමක් කළ විට රැඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක ලේකම්වරයාට පැවරීමට යෝජනා කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

එවැනි රැඳවුම් නියෝගයක් නිකුත් කළහොත් මාස දෙකක සිට වසරක කාලයක් දක්වා පුද්ගලයෙකු රඳවා තබා ගැනීමට පොලීසියට අවසර ලැබෙන බවත්, එවැනි අවස්ථාවක මහේස්ත්‍රාත්වරයාට තම අභිමතය පරිදි තීරණ ගැනීමට ඇති බලය අහිමි වන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙම පනත් කෙටුම්පත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවට ආරක්ෂක අමාත්‍යවරයාගේ හෝ පොලිස්පතිවරයාගේ කාර්යාල වෙත රැගෙන යාමට සිදුවන තත්ත්වයක් උද්ගත විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ, පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් අධිකරණ බලය ඉක්මවා යන බලයක් පොලීසියට ලබාදීමට යෝජනා කර ඇති බවයි.

පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය යටතේ බරපතළ අපරාධයක වින්දිතයෙකුගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම සහ ඔහුගේ හෝ ඇයගේ නම ප්‍රසිද්ධ කිරීම වරදක් ලෙස දක්වා ඇති බවත්, 14(3) වගන්තිය යටතේ අදාළ නඩු විභාගයක කරුණු අධිකරණයේ අවසරයකින් තොරව ප්‍රසිද්ධ කිරීම ද වරදක් බවට පත්කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම ප්‍රතිපාදන හේතුවෙන් අධිකරණ වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට පවා සිය වෘත්තීය කටයුතු සිදුකිරීමට බාධා ඇති විය හැකි බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එමෙන්ම, පනත් කෙටුම්පත යටතේ සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන සලසා නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

තවත් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා සඳහන් කළේ, යෝජිත පනත් කෙටුම්පත එක්සත් ජාතීන්ගේ සම්මුතීන්හි උපදෙස් හා මූලධර්මවලට අනුකූලව සකස් කර නොමැති බවයි.

සිංගප්පූරුවේ ද මෙවැනි නීතියක් ක්‍රියාත්මක වුවද එහි රැඳවුම් නියෝග සම්බන්ධයෙන් මෙවැනි විධිවිධාන ඇතුළත් නොවන බව පෙන්වා දුන් ඔහු, අධිකරණයේ මැදිහත්වීමකින් තොරව පුද්ගල නිදහස සීමා කිරීමට විධායකයට අවස්ථාව සැලසීම බරපතළ ගැටලුවක් බව කියා සිටියේය.

මේ අතර, තවත් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පනත් කෙටුම්පතේ 10 වැනි වගන්තියේ සඳහන් ‘සහභාගිත්වය’ පිළිබඳ විධිවිධාන සම්බන්ධයෙන් ද විවේචන ඉදිරිපත් කළේය.

කිසියම් අපරාධ කණ්ඩායමක් විසින් ශ්‍රමදානයක් හෝ දන්සලක් සංවිධානය කළහොත් එවැනි ක්‍රියාවකට සහභාගි වීම පවා අදාළ විධිවිධාන යටතේ වරදක් ලෙස අර්ථ දැක්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, 19(4) වගන්තිය අනුව රැඳවුම් නියෝගයක් නිකුත් නොකරන අවස්ථාවකදී සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම හැර වෙනත් විකල්පයක් මහේස්ත්‍රාත්වරයාට නොමැති බවත්, එමගින් මහේස්ත්‍රාත්වරයාගේ අධිකරණමය අභිමතය අහිමි කර ඔහු රබර් මුද්‍රාවක් බවට පත්කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කළේය.

එමෙන්ම, සැකකරුවන් පැය 72ක් දක්වා පොලිස් භාරයේ රඳවා තැබීමට අවසර ලබාදීම, එම කාලය තුළ අධිකරණ අධීක්ෂණයට යටත් නොවීම සහ සැකකරුවන්ට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම ද ගැටලු සහගත බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම විධිවිධාන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම්, අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණ බලය උල්ලංඝනය වන බවත්, ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සම් පිළිබඳ විභාගය තවදුරටත් පැවැත්වේ.

Social Sharing
නවතම පුවත්