
දශක හතරකට වැඩි කාලයක් ආසියානු මානව හිමිකම් අරගලය, වධහිංසා වින්දිතයන්, අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයන්, නීතිඥයන් සහ බිම් මට්ටමේ මානව හිමිකම් ක්රියාධරයන් හරහා යුක්තිය සෙවීම ඉදිරියට ගෙන ගිය බැසිල් ප්රනාන්දු නම් ශ්රී ලාංකික ශ්රීමතාණන් 2026 සැප්තැම්බර් 30 දින හොංකොං නුවරදී වසර අසූ එකක් ආයු වළඳා දෙව් මව් තුරුළට සැපත් විය.
කීර්තිමත් ශ්රී ලාංකික කතෝලික නීතිඥයකු වන හෙතෙම මානව හිමිකම් ආරක්ෂකයෙක්, ගත් කතුවරයෙක් සහ කවියෙක් ලෙස පොත්පත් 100 ගණනක් ලියා පළ කර ඇත. හෙතෙම ඇති කළ ආයතන, අරගල, ව්යාපාර සහ ඔහු විසින් හඳුන්වා දුන් ක්රමවේද මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා මහෝපකාරී වන බව ප්රත්යක්ෂය.
1944 ඔක්තෝම්බර් 14 දින හැඳල, පල්ලියවත්ත නම් ධීවර ගම්මානයේ ජන්මලාභය ලැබූ එතුමා උපතින්ම කතෝලික බැතිමතෙක් විය. ලංකා විශ්වවිද්යාලයේ නීති පීඨයට බැඳුණු හෙතෙම එක්දහස් නවසිය හැත්තෑ දෙකේ වර්ෂයේදී නීතිඥයකු ලෙස සමත් විය. නීති උපාධිය ලබාගැනීමෙන් පසු ටික කලක් විද්යෝදය විශ්වවිද්යාලයේ ආචාර්යවරයකු වශයෙන් ඉංග්රීසි ඉගැන්වීය. නීතිඥයකු ලෙස නිරන්තරයෙන් අධිකරණයට එල්ල වන දේශපාලන බලපෑම් සහ අධිකරණය තුළ ඇති දූෂණ ක්රියා සම්බන්ධයෙන් හඬක් නැඟීය.
වධහිංසාවට ලක්වූ වින්දිතයන් සහ වෙනත් අපයෝජනයන්ට ලක්වූ වින්දිතයන් මෙන්ම රාජ්ය මර්දනයට හසුවූ තරුණ ප්රජාව සමඟ හෙතෙම මුහුණට මුහුණලා සටන් වැදුණි.
දේශපාලන ප්රචණ්ඩත්වය සහ අතුරුදහන් කිරීම් සහිත කාලයක හෙතෙම ද එහි ඉලක්කයක් බවට පත් විය. එක්දහස් නවසිය අසූ නවය වර්ෂයේදී ‘මරණ ලැයිස්තුවක’ ඔහුගේ නම ද ඇතුළත් වන බවට ලැබුණු විශ්වාසදායක තොරතුරක් නිසා හෙතෙම ශ්රී ලංකාවෙන් හොංකොං බලා පිටත් විය.
1989 සිට 1992 දක්වා කාම්බෝජයේ එක්සත් ජාතීන්ගේ සංක්රාන්ති රාජ්ය ව්යුහයේ එක්සත් ජාතීන්ගේ ජ්යෙෂ්ඨ මානව හිමිකම් නිලධාරියකු ලෙස එහි විමර්ශන ඒකකය භාරව කටයුතු කළේය. හෙතෙම 1994 දක්වාම එම සංක්රාන්ති රාජ්ය සමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරියා ලෙස කාම්බෝජ ජනතාවට නීති සහාය ලබාදීමට ක්රියා කළේය.
1994 වර්ෂයේදී මානව හිමිකම් ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් ඇතිවිය. හෙතෙම හොංකොං නුවර පිහිටුවා තිබුණු ආසියානු මානව හිමිකම් කොමිසමේ සහ ඊට අනුබද්ධ ආසියානු නීති සම්පත් මධ්යස්ථානයේ විධායක අධ්යක්ෂවරයා ලෙස පත්වීම් ලැබීය.
ඔහුගේ නායකත්වයෙන් විවිධ රටවල විවිධ ආයතන සහ නීතිඥයන් මෙන්ම ආයතනික ප්රතිපත්ති සම්පාදකයන් සමඟ ආයතනික ව්යුහාත්මක වෙනස්කම් කිරීම සඳහා කැපවී වැඩ කළේය.
ඔහු සකස් කළ “Urgent Appeals” නම් වැඩපිළිවෙළින් කුමන හෝ බලහත්කාර අත්අඩංගුවට ගැනීමක් හෝ අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් කෙළින්ම රාජ්ය නායකයාට දැනුම් දීමේ ක්රමය නිසා බේරුණු ජීවිත බොහෝය. මෙබඳු සිද්ධියකදී වහාම ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ අදාළ ඇමැතිවරයාට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදාළ නිලධාරීන්ට ද කෙළින්ම අමතන මෙම ක්රමය නිසා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම්වලින් සහ අතුරුදහන් කරවීම්වලින් පීඩිත වූ ජනතාවට මහත් අස්වැසිල්ලක් ලැබුණු අතර, කඩිනමින් එම තැනැත්තන් උසාවියට ඉදිරිපත් කරවීමට ද පිටුවහලක් විය.
හෙතෙම අධ්යාපනයටම මූලිකත්වය දී මානව හිමිකම් සම්බන්ධයෙන් ජන පාසල් සංකල්පය පොදු ජනයා සහ විශේෂයෙන් මානව හිමිකම් ක්රියාකාරීන් අතරට ගෙන ආවේය. පුහුණු වැඩසටහන් මඟින් ක්රියාකාරීන්, නීතිඥයන් සහ ආසියාව කේන්ද්ර කරගත් නීති විශාරදයන්ට සාධාරණ නඩු විභාගයක මූලධර්ම, නීතියේ ආධිපත්යය සහ මානව හිමිකම් ආරක්ෂණය ගැන පුහුණුව ලබා දුන්නේය.
ඔහු රාජ්ය ආයතන එනම් පොලිසියේ නිලධාරීන්ට මානව හිමිකම් රැකීම සහ වධහිංසාව නැති කිරීම මෙන්ම බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම් නැවැත්වීම සඳහා පසුගිය වර්ෂවලදී මහනුවර ප්රදේශයේ ස්ථාන කිහිපයක පුහුණු සැසි පවත්වන ලදී.
හෙතෙම ආසියාවේ මානව හිමිකම්, යුක්තිය සහ සමාජ ප්රතිසංස්කරණ සඳහා කළ දායකත්වය වෙනුවෙන් දකුණු කොරියාවේ 2001 වර්ෂයේදී (Gwangju) මානව හිමිකම් ප්රදානයෙන් පුදනු ලැබුවේය.
හෙතෙම ශ්රී ලංකාවේ පමණක් නොව පොලිස් වධහිංසාව සහ අවමන් සහගත සැලකීම් වැළැක්වීම සම්බන්ධයෙන් පුළුල් පරාසයක් තුළ ආසියාව පුරා කටයුතු කළේය. බංග්ලාදේශය, බුරුමය, කාම්බෝජය, චීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, දකුණු කොරියාව, ශ්රී ලංකාව, තායිලන්තය සහ පිලිපීනය ඊට අයත් රටවල් ය.
හෙතෙම ආසියාවේ නීතියේ ආධිපත්යය සුරැකීම වෙනුවෙන් 2014 දී නෝර්වේ රාජ්යයෙන් පිරිනමන විකල්ප නොබෙල් ත්යාගය වන (Right Livelihood Award) හිමිකරු විය.
තවද, අතුරුදහන් වූවන්ගේ පවුල් සංවිධානයේ සභාපති, මානව හිමිකම් ක්රියාකාරී බ්රිටෝ ප්රනාන්දු මහතාට අනුව, ශ්රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ පවුල් සංවිධානය දකුණු කොරියාවේ මැයි 18 පදනම සමඟ සම්බන්ධ කර එමඟින් ශ්රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ සිහිවටනය රද්දොළුගම ඉදිකිරීමට ද බැසිල් ප්රනාන්දු මහතා බෙහෙවින් උපකාරී වූ බව සඳහන් කර ඇත.
තවද, බැසිල් ප්රනාන්දු මහතාගේ කාරුණික අනුග්රහය මත බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන් ගැන තොරතුරු අඩංගු වෙබ් අඩවියක් ද නිර්මාණය කර ඇති බවත්, එමඟින් යුක්තිය සඳහා උසාවි මඟින් කරන සටනට විශාල මෙහෙයක් ලැබුණු බවත් වැඩිදුරටත් දන්වා ඇත. මේ අනුව අතුරුදහන් වූවන්ගේ නම් සහ තොරතුරු ඇතුළත් සයිබර් අවකාශීය සුසාන භූමියක් ද සකස් කරන ලදී.
මේ අනුව මානව හිමිකම් සුරැකි යෝධයෙක් සහ ආසියාකරයේ හඬක් නැති ජනී ජනයාට හඬක් ලබා දුන් යුග පුරුෂයා අවසන් ගමන් ගියේය.
එතුමන්ගේ අවසන් කටයුතු පල්ලියවත්ත ග්රාමයේ සහ ඉනික්බිතිව පල්ලියවත්ත කතෝලික දේවස්ථානයේත්, ඊට යාබද කතෝලික සුසාන භූමියේදීත් විශාල ජනකායක් මධ්යයේ 2026 ඔක්තෝම්බර් 17 දින සිදුවිය.
සකස් කළේ:
කිංස්ලි කරුණාරත්න
නීතියේ ආධිපත්යය සඳහා වූ කේන්ද්රය, කොළඹ 10.
