බන්ධනාගාර තදබදය, රස පරීක්ෂක අර්බුදය සහ කොමසාරිස් තනතුර ගැන අධිකරණ අමාත්‍යවරයා පැහැදිලි කරයි.

ශ්රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින උග්ර තදබදය, ඊට ප්රධානතම හේතුව වී ඇති රස පරීක්ෂක වාර්තා ප්රමාදය සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා මහනුවර පැවති මාධ්ය හමුවකදී කරුණු පැහැදිලි කළේය.
දශක එකහමාරකට වැඩි කාලයක සිට පවතින බන්ධනාගාර තදබදය මේ වන විට දැඩි අර්බුදයක් බවට පත්ව ඇත. රජයේ මත්ද්රව්ය වැටලීම් හේතුවෙන් අත්අඩංගුවට පත්වන පිරිස ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව පෙන්වා දුන් අමාත්යවරයා, බන්ධනාගාරවල රඳවා තබා ගත හැකි නියමිත උපරිම රැඳවියන් සංඛ්යාව 10,000 ක් වුවද මේ වන විට බන්ධනාගාර තුළ 41,000 ක පමණ පිරිසක් රඳවා සිටින බව සඳහන් කළේය. වත්මන් රජය බලයට පත්වන විට ද මෙම සංඛ්යාව 29,000 ක් පමණ විය.
දැනට රඳවා සිටින 41,000 න් 30,000 ක් පමණම රිමාන්ඩ් සැකකරුවන් වන අතර, ඉන් 23,000 ක් පමණ මත්ද්රව්ය චෝදනා මත අත්අඩංගුවට ගත් අය වෙති. මෙම තදබදය අවම කිරීම සඳහා පවතින බන්ධනාගාරවල ඉඩකඩ වැඩි කිරීමට සහ නව ගොඩනැගිලි ඉදි කිරීමට සැලසුම් කර ඇතත්, එය හුදෙක් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් කඩිනමින් විසඳිය හැකි ගැටලුවක් නොවන බව අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මත්ද්රව්ය සැකකරුවන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ පසුවීමට ප්රධානතම හේතුව වී ඇත්තේ රස පරීක්ෂක වාර්තා ප්රමාද වීමයි. ගැටලුව බන්ධනාගාරය තුළ දිස්වුවද, එහි සැබෑ මූලය පවතින්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තුළ බව අමාත්යවරයා අවධාරණය කළේය. වත්මන් රජය භාර ගන්නා විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118 ක් පැවතුණි. එහෙත් මේ වන විට අලුතින් 50 දෙනෙකු පමණ බඳවා ගෙන ඇති අතර, කටයුතු කඩිනම් කිරීම සඳහා රාත්රී සේවා මුරයක් ද ආරම්භ කර ඇත. මෙම පියවරයන් හරහා මසකට රස පරීක්ෂක වාර්තා 7,500 ත් 9,000 ත් අතර ප්රමාණයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය සඳහා ස්ථිර පත්කිරීමක් නොකිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනාවලට ප්රතිචාර දක්වමින් අමාත්යවරයා ඊට අදාළ නීතිමය පසුබිමද පැහැදිලි කළේය. දැනට එම ධුරයේ සිටි නිලධාරියා වැඩ තහනමකට ලක්ව, ඔහුට එරෙහිව පරීක්ෂණයක් ක්රියාත්මක වන බැවින් ආයතන සංග්රහයට අනුව, අදාළ පරීක්ෂණ අවසන් වී ඔහු ස්ථිරවම රැකියාවෙන් ඉවත් කරන තෙක් එම තනතුරේ නීත්යානුකූල පුරප්පාඩුවක් නිර්මාණය නොවේ. මේ හේතුවෙන් පුරප්පාඩුවක් නොමැති නිසා, බන්ධනාගාර අධ්යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බැලීම සඳහා නිලධාරියෙකු පත් කර ඇත. වැඩබලන තනතුරක් වුවද, අදාළ නිලධාරියාගේ රාජකාරි බලතලවල කිසිදු අඩුවක් සිදුවී නොමැති බව අමාත්යවරයා තහවුරු කළේය.
මීට අමතරව, ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු 08 ක් පිරවීමේ කටයුතු මෙම මාසයේ සිට ආරම්භ කරන බවද අමාත්යවරයා සඳහන් කළේය. මහාධිකරණවල කටයුතු අඩාල නොවන පරිදි, නව විනිසුරුවරුන් බඳවාගෙන පුහුණු කරමින් ක්රමානුකූලව පහළ සිට ඉහළට මෙම පුරප්පාඩු පිරවීම සිදු කෙරේ. තවද, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම රජයේ ප්රධාන වගකීමක් බවත්, නඩු තීන්දු සඳහා රජය කිසිදු මැදිහත්වීමක් නොකරන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
Social Sharing
නවතම පුවත්