මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක්!

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම සහ වාර්තා කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් ලෙස මූලික මානව හිමිකම් ගිවිසුම් 09කට සහ විකල්ප ප්‍රොටොකෝල 05කට රාජ්‍ය පාර්ශ්වකරුවෙකු ලෙස කටයුතු කරයි. මීට අමතරව, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනය (UPR) සඳහා ද සහභාගි වේ.

2023 වසරේ පැවති ශ්‍රී ලංකාවේ UPR හතරවන චක්‍රයේදී අනෙකුත් රටවල් විසින් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ස්වේච්ඡා මධ්‍ය කාලීන වාර්තාවක් මීළඟ සමාලෝචනයට පෙර ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව තිබේ.

එම වාර්තාව සකස් කිරීම සඳහා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ජාතික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ කටයුතු පිළිබඳ පසු විපරම් කිරීම සහ වාර්තා කිරීම සඳහා ස්ථාවර ජාතික රාමුවක් ලෙස ක්‍රියා කරන අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුව පිහිටුවීමට යෝජනා කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

Social Sharing
නවතම පුවත්