
මාතර ග්‍රාමීය බැංකු සංගමයේ හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් රුපියල් කෝටි 502කට (රුපියල් මිලියන 5,020කට) ආසන්න මුදලක් වංචා කර ඇති බවට අතුරු කමිටු වාර්තාවකින් හෙළි වී ඇතැයි වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම මුදල් තැන්පත්කරුවන්ට අයත් මුදල් බවත්, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට පරීක්ෂණයක් සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් අයථා ලෙස වත්කම් උපයා ගැනීම පිළිබඳවද වෙනම පරීක්ෂණයක් සිදුකරන බව ඔහු සඳහන් කළේය.
මාතර ග්‍රාමීය බැංකු සංගමයට අමතරව මාතර විවිධ සේවා සමුපකාර සමිතිය සහ මාතර ආරෝග්‍යශාලා සංගමය යන ආයතන තුන සම්බන්ධයෙන් රුපියල් මිලියන 5,000කට වැඩි මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම විවිධ සේවා සමුපකාර සමිති යටතේ පවත්වාගෙන යන තවත් ග්‍රාමීය බැංකු 68ක මූල්‍ය වංචා සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.
