
පාර්ලිමේන්තුවට ඊයේ දිනයේ ඉදිරිපත් කෙරුණු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශ්ව කිහිපයක් විසින් පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එම පාර්ශව අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමගි ජන බලවේගය, සර්වජන බලය, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් මේ අයුරින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පළමු පෙත්සම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිඳු සිල්වා සහ අතිරේක ලේකම් එල්.අයි. වාකිෂ්ඨආරච්චි යන මහත්වරුන් විසින් එම පෙත්සම ගොනුකර ඇති අතර, නීතිපතිවරයා එහි වගඋත්තරකරු ලෙස නම් කර තිබේ.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ යෝජිත සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති ජනතා පරමාධිපත්‍යයට සෘජු බලපෑමක් එල්ල කරන බවයි.
විශේෂයෙන්ම පනත් කෙටුම්පතේ දෙවැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් ඇති විය හැකි බවද පෙත්සම මගින් පෙන්වා දී ඇත.
එම සංශෝධනය ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය, අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්ම, විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර ප්රඥප්තිය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මූලධර්ම ඇතුළු ජාත්‍යන්තර මූලධර්ම කිහිපයකටද පටහැනි බව පෙත්සම්කරුවන් සඳහන් කර තිබේ.
ඒ අනුව පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන් හමුවේ සලකා බලා තීන්දුවක් ලබාදෙන ලෙසත්, පනත් කෙටුම්පතේ දෙවැනි සහ තුන්වැනි වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා තිබේ.
මේ අතර සමගි ජන බලවේගයද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී රටේ ප්රජාතන්ත්රවාදී ව්‍යුහය, බලතල බෙදීම සහ ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇති විය හැකි බලපෑම් පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බව පෙන්වා දී ඇත.
සර්වජන බලයද පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම හිටපු අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා ඇත්තේ 22 වැනි සංශෝධනය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයකට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සංගමයද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇත.
