
කල්මුණේ උතුරු මූලික රෝහලට අලුතින් පත්කර ඇති මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සහායක නිලධාරිනියන් නවදෙනෙකුට ෆර්දා ඇඳුමින් සේවයට වාර්තා කිරීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි පහක් ඉදිරිපත් කර තිබේ.
දෙමළ මාධ්‍ය වාර්තා අනුව, අදාළ නිලධාරිනියන් තම ආගමික හා සංස්කෘතික අනන්‍යතාව පවත්වාගෙන යමින් ෆර්දා සමඟ නියමිත නිල ඇඳුමෙන් සේවයට වාර්තා කර ඇති අතර, එම ආකාරයෙන් සේවයට වාර්තා කිරීමට රෝහල් පාලනාධිකාරිය අවසර ලබා නොදුන් බවට ඔවුන් චෝදනා කර ඇත.
ඒ අනුව, අගෝස්තු 10 වැනිදා සවස කල්මුණේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාලයට පැමිණිලි පහක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිලිවලින් අදාළ නිලධාරිනියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කර ඇත.
ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා නීතිඥ මුබාරක් මුඅස්සම් සහ නීතිඥ රුදානි සාහිර් රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා සහ අදාළ සෞඛ්‍ය නිලධාරියා හමුවී සාකච්ඡා කර ඇති අතර, එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව වාර්තා වේ.
එම සාකච්ඡාවේදී රෝහල් පාර්ශ්වය විසින් අදාළ නිලධාරිනියන්ට වෙනත් රෝහල් වෙත මාරුවීම් ලබාගෙන සේවයට වාර්තා කරන ලෙස යෝජනා කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම යෝජනාව අදාළ පාර්ශ්වය විසින් පිළිගෙන නොමැති අතර, තමන්ට පත්වීම් ලබාදී ඇති රෝහලේදී තම ආගමික හා සංස්කෘතික අනන්‍යතාව පවත්වාගෙන සේවය කිරීමට තමන්ට අයිතියක් ඇති බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද සූදානම් බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම සඳහා මූලික කටයුතු සිදුකරමින් පවතින බවද සඳහන් කර ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කල්මුණේ උතුරු මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ගුණසිංහම් සුගුණන් ප්‍රකාශ කර ඇත්තේ රජයේ ආයතනයක කටයුතු කිරීමේදී කිසිවෙකුට ජාතිවාදී, ප්රාදේශීයවාදී හෝ පෞද්ගලික කැමැත්ත මත තීරණ ගත නොහැකි බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛවලට අනුව කටයුතු කළ යුතු බවත්, මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට පියවර ගන්නා බවත් රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මුලාශ්‍රය What News
