
බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විසඳුමක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නීතිමය විධිවිධාන හඳුන්වාදෙන පනත් කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේ, පෙරේදා (03) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම සඳහා ඊයේ (04) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පතට අවශ්‍ය අතිරේක විධිවිධාන ඇතුළත් කරමින් එය කඩිනමින් අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා විකල්පයක් ලෙස නිවාස අඩස්සිය හඳුන්වාදීම පිළිබඳ යෝජනාව ප්‍රථම වරට 2023 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවක් මඟින් ඉදිරිපත් කර තිබුණි. එම කමිටු වාර්තාවේ නිර්දේශ මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කිරීමට එම වසරේ දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතියද හිමිවිය.
පසුව 2025 ජූනි 23 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමට අනුමැතිය ලබාදී ඇති අතර, එම කටයුතු කඩිනම් කිරීම සඳහා මෙවර අමාත්‍ය මණ්ඩලය නැවතත් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇත.
මේ අතර, නවතම නිල සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල මේ වන විට රැඳවියන් 40,000කට ආසන්න පිරිසක් සිටින අතර, ඉන් 30,000කට ආසන්න පිරිසක් තවමත් වරදකරුවන් නොවන රක්ෂිත සැකකරුවන් වෙති. වරදකරුවන් ලෙස දඬුවම් විඳින සිරකරුවන්ගේ සංඛ්‍යාව 11,000කට ආසන්නය.
ඒ අනුව, බන්ධනාගාර තදබදය අවම කිරීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා විකල්ප නීතිමය ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට රජය කටයුතු කරමින් සිටී.
