දික්කසාද නඩුවක තීන්දුවක් ලබාදීමට රුපියල් 65,000ක අල්ලසක් ගත් කාති විනිසුරුවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

දික්කසාද නඩුවකට අදාළව රුපියල් 65,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කොළඹ උතුර කාති උසාවියේ කාති විනිසුරුවරයෙකු සහ කාන්තාවක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කාති විනිසුරු මොහොමඩ් සවාහීර් මොහොමඩ් රමීස් සහ ෆාතිමා නස්රීනා නමැති දෙදෙනෙකි.

කොළඹ උතුර කාති විනිසුරු කාර්යාලය තුළදී අදාළ කාති විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ පැමිණිලිකරුගේ බිරිඳ විසින් ගොනු කර තිබූ දික්කසාද නඩුවක සහ වන්දි නඩුවක තීන්දුව පැමිණිලිකරුට වාසිදායක වන අයුරින් ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026 දෙසැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

Social Sharing
නවතම පුවත්